Friday, March 29, 2024

General line - 0115112241

යුධ හමුදාපති යොදාගත් මාධ්‍ය දැන්වීම ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කතා කරයි 




වත්මන් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ජයාරූපයක් සහ ප්‍රකාශයක් යොදා ගනිමින් පසුගිය සති අන්ත පුවත් පතක් විසින් පළකර තිබු දැන්වීම සම්බන්ධයෙන් තමන් ඉතා කණගාටුදායක වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා.

එම මාධ්‍ය දැන්වීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල තමන්ට පසුගිය ඉරීදාම ලැබුනු බවත් එම මාධ්‍ය නිවේදනය නිකුත් කරනු ලැබු දේශපාලන පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයාට, එම පක්ෂයට සහ ඔවුන්ගේ නියෝජිතයින්ට මැතිවරණ කොමිසම විසින් ඒ ගැන දැනුම් දීමක් සිදුකර ඇති බවයි කියා සිටියේ.

එමෙන්ම යුධ හමුදාපතිවරයාගේ ජයාරූපය සහ ප්‍රකාශය යොදා ගනිමින් පලකර ඇති මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට සහ ආරක්ෂක ලේකම්වරයාට දැනුම්දී ඇති බවයි ප්‍රකාශ කර සිටියා.

ඉදිරියේදී ජනාධිපතිවරණ ප්‍රචාරණ රැස්වීම වලදී යුද්ධය සම්බන්ධයෙන් සිදුකරනු ලබන ප්‍රකාශයන් නතර කරනවානම් එය ඉතා යහපත් ක්‍රියාවක් බව කියා සිටි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉන්දියාවේ පැවති මහ මැතිවරණයේදී ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකුගේ ජයරුපයක් යොදා ගැනීමට එක් දේශපාලන පක්ෂයක් මැතිවරණ ප්‍රචාරණය කිරීමට යාමේදී එරට මැතිවරණ කොමිසම විසින් එය තහනම් කල බවද කියා සිටියා.

එමෙන්ම මෙම පුවත්පත් දැන්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී යුධ හමුදාපතිවරයා විසින්ම ප්‍රකාශයක් සිදුකරනු ඇති බවද මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.