Friday, March 29, 2024

General line - 0115112241

ජනපති සහ අගමැති එක් වී යාපනය ගුවන් තොටුපළ ජනතාවට භාර දෙයි (PHOTOS)

දිනසේන රතුගමගේ/මාධව කුලසූරිය




ඉන්දියාවේ චෙන්නයි සිට ප්‍රථම ගුවන් යානය යාපනය  ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත අද (17)උදෑසන ළඟා වීමත් සමගම යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල නිල වශයෙන් විවෘත කෙරුණා.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත මගීන් පිරිසක් රැගෙන එන ලද පළමු ගුවන් යානය සාම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබුවා.

ඉන්දියාවේ සිට පළමු ගුවන් යානය පැමිණීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිහිවටන පලකය හා ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරණු ලැබුවා.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,  ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අශෝක්  අබේසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන්, ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං  යන පිරිස ඇතුළු අමුත්තන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.

 

------------------------

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල අද විවෘත වෙයි  

(17-10-2019 07:40)

 

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (17) විවෘත කෙරෙනවා.

මෙලෙස ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් ලෙස සංවර්ධනය කර ඇත්තේ පලාලි ගුවන් තොටුපොල වන අතර එය මෙරට 5 වන ජාත්‍යන්තර ගුවන් තොටුපොල ලෙස ඉතිහාසගත වනු ඇති.

නොවැම්බර් මාසයේ මුල් සතියේදී යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන බවයි ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ. 

අද විවෘත කෙරෙන යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත පළමු ගුවන් යානය පැමිණෙන්නේ ඉන්දියාවේ චෙන්නායි සිටයි. එම ගුවන් තොටුපොල හරහා සතියකට ගුවන් ගමන් 3 ක් පමණ මුල් අදියරේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළේ.