Friday, April 19, 2024

General line - 0115112241

ඉලක්කය 'රට නොබෙදා බලය බෙදාදීම' බව අගමැති කියයි




ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය සඳහා අදහස් දැක්වූ බහුතර පාර්ශ්වයන් මේ වනවිට ඒකීය ශ‍්‍රී ලංකාවක් තුළ බලය බෙදීම සම්බන්ධයෙන් එකගතාවකට පැමිණ ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ යාපනයේදී මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදී නැගුණු ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

අපගේ ඉලක්කය විය යුත්තේ රට නොබෙදා බලය බෙදාදීම බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. 

ඒකීය යන වචනයෙන් අර්ථ නිරූපණය විය යුත්තේ එක් රටක් යන්නයි. ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අවසන් තීන්දුව ගැනීමේ බලය පාර්ලිමේන්තුව සහ ජනතාව සතු බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළේ.

එම නිසා බහුතර ජනතාවගේ එකඟත්වය ලබාගනිමින් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කාර්යය ඉදිරියට ගෙන යා යුතු බව ද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන්නේ දැයි මාධ්‍යවේදීන් මෙහිදී අග‍්‍රාමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ශ‍්‍රී ලංකාව සංවර්ධිත රටක් ලෙස ඔසවා තබන්නට නම් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පමණක් නොව ආර්ථික හා සමාජයීය ප‍්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බවයි. 

ඒ සඳහා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළා. සුළුතර ආණ්ඩුවක් සහිතව තමන් ජනතාවට දිනාදුන් ජයග‍්‍රහණ තව තවත් ශක්තිමත් කිරීම තහවුරු කළ හැක්කේ බහුතර ආණ්ඩුවක් ඔස්සේ බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.