Wednesday, April 24, 2024

General line - 0115112241

පකිස්ථාන දේශ සිමාවේ ත්‍රස්ත කඳවුරු 04කට බර අවි ප්‍රහාරයක්




පකිස්ථාන දේශ සිමාවේ පිහිටි ත්‍රස්තවාදී කඳවුරු 04ක් ඉලක්ක කර ගනිමින් ඉන්දීය යුධ හමුදාව මේ වන විට බර අවි ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පකිස්ථානයට අයත් කාශ්මීර් දේශ සිමාවේ පිහිටා ඇති ත්‍රස්තවාදී කඳවුරු 04ක් මෙලෙස ඉන්දීය යුධ හමුදාවේ ඉලක්කය වී ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දියාව තුල ප්‍රහාර එල්ල කිරීම සඳහා ත්‍රස්තවාදීන් මෙම කඳවුරු හරහා පැමිණෙන බවටයි ඉන්දීය ආරක්ෂක අංශ පවසන්නේ. 

කාශ්මීර් හි පිහිටි නිලාම් නිම්නයේ ස්ථානගත කර තිබෙන ඉන්දීය යුධ හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුවේ බර අවි යොදා ගනිමින් පකිස්ථාන දේශ සිමාවේ පිහිටි ත්‍රස්ත කඳවුරු හතර ඉලක්ක කර ගනිමින් මෙලෙස බර අවි ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ. එම ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් විශාල පිරිසක් මියයන්නට හෝ තුවාල ලබන්නට ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මේ අතර දැනට පවතින යුධ විරාමය උල්ලංඝණය කරමින් පකිස්ථාන හමුදාව විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් ජම්මු හා කාශ්මීර් දේශ සිමාවේ කුප්වාරා ප්‍රදේශයේදී ඉන්දීය යුධ හමුදාවේ සෙබළුන් දෙදෙනෙක් සහ එක් සිවිල් වැසියෙක් මිය ගොස් තිබෙනවා.

එම ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉන්දීය හමුදාව ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් පකිස්ථාන හමුදාවන්ට බරපතල හානි සිදුවන්නට ඇති බවයි ඉන්දීය යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටින්නේ.