Saturday, April 20, 2024

General line - 0115112241

අතපසුවීම් සිදු වූයේ කොතනදැයි සොයා බැලූ පාස්කු ප්‍රහාරයට අදාළ කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට




අපේ‍්‍රල් 21 වැනිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට අද (23) ඉදිරිපත් කෙරෙනවා.

කථානායක කරු ජයසූරිය මහතා විසින් මෙම විශේෂ කාරක සභාව පත්කරනු ලැබුවේ ඉකුත් මැයි මස 22 වැනිදායි. මැයි මස 29 වැනිදා කාරක සභාව පළමුවරට රැස්වුණා. වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අද පස්වරුවේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කරුණු දක්වන බවයි කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පැවසුවේ.

ගතවු කාලසීමාව තුළ ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පතිවරයා මෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 60 කට ආසන්න පිරිසකගෙන් සාක්ෂි සටහන් කර ගත්තා. නියෝජ්‍ය කථානායකවරයා ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාර්යය භාර්යය වූයේ අතපසුවීම්, අඩුපාඩු සහ දුර්වලතා සිදුවුයේ කොතනදැයි සොයාබැලීම පමණක් බවයි. 

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කාරක සභා වාර්තාව පිටු 200 කින් සමන්විත වනවා. නැගෙනහිර පළාත තුළ මෙවැනි පසුබිමක් නිර්මාණයවීම, තොරතුරු නිසිලෙස වාර්තා නොවීම, බුද්ධි සේවාවලින් ලැබුණු තොරතුරු නිසි ඇගයීමකට ලක් නොවීම වැනි කරුණු ද ඊට ඇතුළත්. 

කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ පැවසුවේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුවීමට පෙර තත්ත්වයන් මෙන්ම මෙවැනි සිද්ධියක් යළි ඇති නොවීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි. 

අපේ‍්‍රල් 21 වැනිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු වූ අමාත්‍ය රාවුෆ් හකීම් සහ ප‍්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් එක්ව සාකච්ඡා කරමින් සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් ඉකුත් දා සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වුණා. 

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා අද දිනයේ පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප‍්‍රකාශයක් ද සිදුකිරීමට නියමිතයි.