Friday, March 29, 2024

General line - 0115112241

කරුණු 13ට ප්‍රතිචාර නොමැති පසුබිමක් තුළ TNA අවසන් තීරණය ගන්න යයි




දෙමළ ජාතික සන්ධානයේ විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්වෙනවා. ඒ, එළඹෙන ජනාධිපතිවරණයේදී ගන්නා තීරණය පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමේ අරමුණින්.

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. නෙත් නිවුස් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් පැවසුවේ මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹීමට හැකිවනු ඇති බවයි. 

උතුරේ දේශපාලන පක්ෂ 05 ක් එක්ව කරුණු 13 කින් යුත් ලිපියක් ඉකුත් දා ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළා. එහෙත්, මේ දක්වා කිසිඳු ප‍්‍රධාන අපේක්ෂකයෙකුගෙන් ඊට යහපත් ප‍්‍රතිචාර ලැබී නොමැති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් ප‍්‍රකාශ කළේ.

ප‍්‍රධාන අපේක්ෂකයින් මුණගැසී සාකච්ඡා කිරීමට ද මේ දක්වා නොහැකි වූ බව ඔහු ප‍්‍රකාශ කළා.  මෙම සියලූ කරුණු කෙරෙහි අවධානය යොමුකර අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගන්නා බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසුවේ. 

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ සහය බොහෝදුරට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ විශ්වාසය පළ කරනවා. 

එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සමග ගිවිසුම්ගතවීමට අපේක්ෂා නොකරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනටමත් තහවුරු කර අවසන්. උතුරේ දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති යෝජනාවලට ද කිසිසේත් එකඟ නොවන බවයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.