Friday, March 29, 2024

General line - 0115112241

පාසල් ශිෂ්‍යාවක් ඝාතනය කිරීමේ වරදට බංගලාදේශයේ 16කට මරණ දඬුවම




පාසල් ශිෂ්‍යාවකට ගිනිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් 16 දෙනෙකුට බංග්ලාදේශ අධිකරණයක් අද මරණ දඬුවම නියම කළා.

මෙලෙස ඝාතනය කර තිබුණේ 19 හැවිරිදි සිසුවියක්. ලිංගික හිංසනය සම්බන්ධයෙන් ඇය සිය පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව පොලීසියට පැමිණිලි කර තිබුණා.

පසුව ඉකුත් අපේ‍්‍රල් මස 06 වනදා පිරිසක් විසින් ඇයව පාසලේ උඩුමහලට ගෙන ගොස් පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නැයි බලපෑම් එල්ලකර තිබෙනවා.

එහෙත්, එම බලපෑම් ප‍්‍රතික්ෂේක කිරීම හේතුවෙන් ඔවුන් ඇගේ සිරුරට ගිනි තබා තිබුණා. ශිෂ්‍යාව පාසලේදී සියදිවි නසා ගත් බව කියා පෑමට එම පිරිස උත්සහ කළද, අදාළ ශිෂ්‍යාව එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා.

තුවාල ලබා බරපතල තත්ත්වයේ පසුවූ ඇය සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හෙළිකිරීම හමුවේයි මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ ද කතාබහට ලක්වුණේ.

දැඩි පිළිස්සුම් තුවාල ලැබූ එම ශිෂ්‍යාව පසුව මියගියා. ශිෂ්‍යාවගේ පැමිණිල්ල හමුවේ සිරගත කර සිටි විදුහල්පතිවරයා විසින් ශිෂ්‍යාව ඝාතනය සඳහා උපදෙස් ලබාදී ඇත්තේ සිරමැදිරිය තුළ සිටියදී බවයි පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ.

මෙවැනි සිද්ධියක් සඳහා බංග්ලාදේශ අධිකරණයක් මගින් සුළු කාලයක් තුළදී තීන්දුව ප‍්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව ලෙස ද මෙය සැලකෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ 16 දෙනා අතර අදාළ විදුහල්පතිවරයා මෙන්ම එම පාසලේම ශිෂ්‍යාවන් දෙදෙනෙකු ද වන බව සඳහන්.

කෙසේ වෙතත් අධිකරණ තීන්දුවෙන් පසුව චූදිත පාර්ශවයෙන් තර්ජන එල්ල වන බැවින් ජීවිතාරක්ෂාව සලසා දෙන්නැයි එම ශිෂ්‍යාවගේ පවුලේ සාමාජිකයින් රජයෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.