Friday, March 29, 2024

General line - 0115112241

ප්‍රබල නවසීලන්තය පැරදවූ එංගලන්තය රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට




ලොව අංක එකේ රග්බි කණ්ඩායම මෙන්ම ගියවර ලෝක ශූරයින් වූ ප්‍රබල නවසීලන්තය පරාජය කරමින්, මෙවර රග්බි ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය අද සමත් වුණා. ඒ, පළමු අවසන් පූර්ව තරඟයේදී නවසීලන්තය ලකුණු 19 - 07 ක් ලෙස පරාජය කරමින්. 

තරඟයේ පළමු අර්ධයේදී ලකුණු 10 ට බින්දුවක් ලෙස පෙරමුණ ගත්තේ එංගලන්තයයි. පළමු අර්ධයේදී නවසීලන්තයට කිසිදු ලකුණක් හෝ ලබා ගැනීමට නොහැකි වීම මෙහිදී කැපී පෙනුණා. දෙවන අර්ධයේදී නවසීලන්තය ලකුණු 07 ක් රැස් කරගැනීමට සමත් වූ අතර එංගලන්තය එහිදී තවත් ලකුණු 09 ක් සිය ලකුණු පුවරුවට එක්කර ගත්තා. ඒ අනුව, පළමු අවසන් පූර්ව තරඟය ලකුණු 19 ට 07 ක් ලෙස ජය ගත් එංගලන්තය මෙවර ලෝක කුසලාන රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා.

එංගලන්තය මෙලෙස රග්බි ලෝක කුසලාන තරඟාවලියක අවසන් මහා තරඟයකට පිවිසියේ වසර 12 කට පසුවයි. මෙම පරාජයත් සමග තුන් වරක් රග්බි ලෝක ශූරයින් වූ නවසීලන්තයේ මෙවර ලෝක කුසලාන බලාපොරොත්තු බොඳ වී ගියා. 

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබුවේ ද එංගලන්තය සහ නවසීලන්තයයි. එහිදී නවසීලන්තය පරාජය කරමින් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට සත්කාරක එංගලන්තය සමත් වුණා.

මේ අතර, ජපානයේ යොකොහාමාහිදී පැවැත්වෙන මෙවර රග්බි ලෝක කුසලාන තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය වේල්සය සහ දකුණු අප්‍රිකාව අතර හෙට පැවැත්වීමට නියමිතයි.