Thursday, April 25, 2024

General line - 0115112241

පැය 36 ක් පුරා ළිංකුහරයක සිරවී සිටින දරුවෙකු මුදා ගැනීමට ඉන්දියාවේ ප්‍රබල මෙහෙයුමක් (PHOTOS)




අතහැර දැමූ වගාළිඳක කුහරයක් තුළ සිරවී සිටින ඉන්දීය දරුවා මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව මේවනවිටත් ක්‍රියාත්මකයි. ඉන්දියාවේ ප්‍රකට ඉන්ධන හා ගෑස් සමාගමක් මෙහෙයුම සඳහා සහය ලබාදීමට ඉදිරිපත්ව සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.

තමිල්නාඩුවේ, නාඩුකට්ටිපට්ටිහි පදිංචි සුජිත් නමැති වයස අවුරුදු 02 ක මෙම දරුවා අදාළ ළිංකුහරය තුළ සිරවී සිටින්නේ පැය 36 ක කාලයක සිටයි. ඉකුත් සිකුරාදා පස්වරුවේ සිය නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටියදී ඔහු මෙම ළිංපතුළට වැටී තිබුණා. 
වසර 07 කට පෙර බඩඉරිඟු වගාවක් සඳහා ජලය ලබාගැනීමට කුඩා වළක් වැනි මෙම වගාළිඳ තනා තිබෙනවා. එහි ගැඹුර අඩි 27 ක් බව විශ්වාස කෙරුණත් එය අඩි 600 ක් තරම් ගැඹුරු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. පසුව වැලි යොදා ගනිමින් ළිඳ වසා දමා ඇති නමුත් ඉකුත් දින කිහිපය පුරා ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් වැලි සේදීගොස් ළිං විවරය මතුව තිබුණා. දරුවා ඒ අසල සෙල්ලම් කරමින් සිටියදී ළිඳට වැටී ඇති බවයි පැවසෙන්නේ.

දරුවා ළිඳට වැටී ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව බලධාරීන් මැදිහත්ව ඔහු මුදා ගැනීමට මෙහෙයුමක් ආරම්භ කළා. එහෙත් එම උත්සහය ව්‍යර්ථ වී දරුවා ළිඳතුළ පිහිටි කුහරයක් තුළට ඇදවැටී තිබෙනවා. මේ වනවිට ගෙල ප්‍රදේශය තෙක් කුහරය තුළ සිරවි සිටින දරුවාගේ හිසෙහි උඩු කොටස සහ අත් දෙකෙහි කොටසක්  පමණයි නිරීක්ෂණය වන්නේ. 

දරුවා මුදාගැනීම සඳහා අවස්ථා 15 කදී උත්සහ දරා ඇති නමුත් රොන්මඩ ඔහු මතට වැටීම හේතුවෙන් එම සියලු උත්සහයන් අසාර්ථක වුණා. ළිඳට යාබදව කැනීම් සිදුකර උමගකින් ඔහු සිටින ස්ථානයට යාමට උත්සහ කළත් ළිඳට අවටින් පිහිටි පාෂාණ පද්ධතියක් නිසා කැනීම් කටයුතු අත්හිටුවා තිබෙනවා. පසුව ඉන්දියාවේ ප්‍රකට ඉන්ධන හා ගෑස් සමාගමක් මුදා ගැනීමේ මෙහෙයුම සඳහා කැනීම් යන්ත්‍රයක් අදාළ ස්ථානයට යොමු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. 

දරුවාට හුස්ම ගැනීම සඳහා අවශ්‍ය ඔක්සිජන් වායුව නළ හරහා කුහරය තුළට යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එහෙත්, ජලය හෝ ආහාර නොමැතිකම හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අවිනිශ්චිත බවයි බලධාරීන් පවසන්නේ.