Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පරදවමින් ඕස්ට්‍රේලියාවට ලකුණු 134 ක දැවැන්ත ජයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 134ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුවා. ලකුණු 234 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සිය නියමිත් පන්දු ඕවර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී රැස් කර ගත්තේ ලකුණු 99ක් පමණයි. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද රැස්කළ ලකුණු 233 වාර්තා වූයේ කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි. මෙහිදී ඬේවිඞ් වෝනර් පන්දු 56 කදී නොදැවී ශතකයක් වාර්තා කිරීමට සමත්වුණා.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්වීම කැපී පෙණුනා. කසුන් රාජිත යැවූ පන්දු 04 දී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 75 ක්. එය වාර්තා වූයේ පන්දුවාර 20 තරගයකදී පන්දු යවන්නනෙකු ලබාදුන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි. පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා. 

යම්තරමකින් හෝ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වුයේ නුවන් ප්‍රදීප් පමණයි. ඔහු යැවූ පන්දුවාර 04 දී ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට ලබාගත හැකි වූලෙය් ලකුණු 28 ක් පමණයි. 

 

................................................................

ඕස්ට්‍රේලියාවෙන්, ශ්‍රී ලංකාවට එරෙහිව වේගවත් ආරම්භයක්

(27-10-2019 10:19)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු පන්දුවාර 20 තරගය ඇඩිලේඞ් ඕවල් ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙනවා. ශ්‍රී  ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට නොබෝවේලාවකට පෙර පන්දුවාර 12 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 128 ක් ලබා සිටියා. 

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් වන නායක ඒරෝන් ෆින්ච් සහ ඬේවිඞ් වෝනර් පළමු කඩුල්ලට ලකුණු 122 ක වේගවත් සබඳතාවක් ගොඩනැගුවා. පළමු කඩුල්ල ලෙස නායක ඒරෝන් ෆින්ච් දැවී ගියේ පන්දු 36 කදී ලකුණු 64 ක් ලබා සිටියදීයි. නොදැවී පන්දුවට පහරදෙන ඬේවිඞ් වෝනර් පන්දු 35 කදී ලකුණු 60 ක් ලබා සිටිනවා. අනෙක් අන්තයෙන් නොදැවී පන්දුවට පහරදෙන්නේ ග්ලෙන් මැක්ස්වෙල්. 

...........................................................

කැන්ගරු දේශයේ විස්සයි විස්ස අපරාජිත ගෞරවය රැක ගන්න සිංහයින් අද පිටියට

(27-10-2019 07:10)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය අද (27) ආරම්භ වනවා. පළමු තරගය පැවැත්වෙන්නේ ඇඩිලේඞ් හිදියි. මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.00ට ආරම්භ වනවා. ශ්‍රී ලංකා පිල අද තරගයට පිවිසෙන්නේ පකිස්තානයට එරෙහිව 3 ට 0 ක් ලෙස ලද පන්දුවාර විස්ස විශිෂ්ඨ ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ දී මේ දක්වා සහභාගි වූ පන්දුවාර විස්ස තරග 6 න් තරග 5 ක්ම ජය ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්. එමෙන්ම ශ්‍රී ලංකා පිලට එරෙහිව ඕස්ට්‍රේලියාව සිය මවුබිමේදී මේ දක්වා කිසිදු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත්කම් දක්වා නැහැ. ඕස්ට්‍රේලියානු  කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ දී මේ දක්වා පවත්වා ඇති පන්දුවාර විස්ස තරගාවලි 3 ම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබීම කැපී පෙනෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස ශ්‍රේණිගත කිරීම් සටහනේ 7 වන ස්ථානයේ පසුවන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම එම සටහනේ පසුවන්නේ 5 වන ස්ථානයේයි.

මේ අතර, නායක ලසිත් මාලිංග ඇතුලු ක්‍රීඩකයින් සිව්දෙනෙකු විස්සයි විස්ස සංචිතයට පැමිණීම හේතුවෙන් අද තරඟය සඳහා සංයුතිය සැකසීමේදී තේරීම් කමිටුව ද ගැටලුවකට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ. 

බොහෝවිට අද තරඟය සඳහා ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, වනිඳු හසරංග, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන්, ලසිත් මාලිංග සහ නුවන් ප්‍රදීප් ක්‍රීඩා කරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.