Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකාවේ ප්‍රහාරයකින් ISIS නායකයා මරුට ?




වයඹ දිග සිරියාවේ දී අමෙරිකානු හමුදාව විසින් සිදුකරන ලද මෙහෙයුමකින් ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය හෙවත් ISIS නායක අබු බකර් අල්-බැග්ඩාඩි මියගොස් ඇති බවට විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කර සිටින බව CNN පුවත් සේවය වාර්තා කර සිටිනවා.

ඇමෙරිකානු භට පිරිස් ISIS නායකයා සැඟවී සිටි ස්ථානය ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙහෙයුමේදී ඔහු විසින් තම සතුව තිබු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් පුපුරුවා ගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි එම උසස් නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ.

අමෙරිකාවේ ජේෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියෙක් උපුටා දක්වමින් CNN ප්‍රවෘත්ති සේවය සඳහන් කරන්නේ හමුදා ප්‍රහාරයෙන් මියගියේ ISIS නායකයා ද යන්න බව අවසන් නිගමනය සඳහා ඔහුගේ සිරුරේ DNA  හා ජෛවමිතික පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි.

..........................................................................................

ISIS නායකයාට අමෙරිකානු හමුදා ප්‍රහාරයක් : ජනපති ට්‍රම්ප් ජාතිය අමතන්න සුදානම් වෙයි

(27-10-2019 09:30)

ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය හෙවත් ISIS නායක අබු බකර් අල්-බැග්ඩාඩි ඉලක්ක කරගනිමින් අමෙරිකානු යුධ හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. වයඹ දිග සිරියාවේදී මෙම මෙහෙයුම සිදුකර ඇති බවයි අමෙරිකානු උසස් ආරක්ෂක හමුදා නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ.

ISIS නායකයා සැඟවී සිටින බව කියන ස්ථානය ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම මෙහෙයුම සඳහා අමෙරිකාවේ CIA සංවිධානයේ සහයද එරට හමුදාවට ලැබී ඇති බවයි එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සිය නිල ට්විටර් ගිණුම හරහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ " යම් විශාල දෙයක් සිදුව ඇති බවයි"

මේ අතර අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්  එරට වේලාවෙන් ඉරිදා උදෑසන 9.00 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි ධවල මන්දිරය නිවේදනය කර සිටින්නේ.

2014 වර්ෂයෙන් පසු වසර පහකට පසුව ISIS නායක අබු බකර් අල්-බැග්ඩාඩි මිට මාස කිහිපයකට පෙර වීඩියෝවක් නිකුත් කරමින් සිය අනුගාමිකයින්ට මෙහෙයුම් දිගින් දිගටම සිදුකරන මෙන් ඉල්ලා සිටියා.