Saturday, April 20, 2024

General line - 0115112241

කුහරය තුළ සිර වූ දරුවා ප්‍රතිචාර දැක්වීම නවතයි - සිහිසුන් වී ඇත්දැයි සැක




ඉන්දියාවේ මානප්පරෙයි ප‍්‍රදේශයේ අතහැර දැමූ වගා ළිඳක කුහරයක් තුළ සිරවී සිටින අවුරුදු දෙකක් වයසැති දරුවා මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදු වනවා.

ලෝකයේම අවධානය දිනා ගත් මෙම මෙහෙයුම සඳහා මේ වනවිට විශේෂ කණ්ඩායම් ද එක්ව සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

දරුවා අඩි 70 ක් පමණ ගැඹුරේ සිර වී සිටින බව තහවුරු වී ඇති අතර දරුවා බේරා ගැනීම සඳහා තවත් කුහරයක් සෑදීමට කැනීම් ආරම්භ කර තිබෙනවා.

ඒ, දරුවා සිර වී සිටින කුහරයට මීටර් 03 ක් දුරින්. එහිදී අඩි 100 ක් ගැඹුරු කුහරයක් කැනීම මෙහෙයුම් කණ්ඩායමේ අරමුණයි.

එතැන් සිට මීටරයක පළලකින් යුත් උමගක් කැනීම සැලසුම වී තිබෙනවා. කෙසේ වෙතත් මේ දක්වා ප‍්‍රතිචාර දක්වා තිබූ නමින් සුජිත් විල්සන් වන මෙම දරුවා මේ වනවිට ප‍්‍රතිචාර නොදක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කුහරයට අඛණ්ඩව ඔක්සිජන් සපයමින් ඇති නමුත් කැනීම් කණ්ඩායම විශ්වාස කරන්නේ දරුවා සිහිසුන් වී ඇති බවයි. දරුවා මෙම කුහරය තුළ සිර වී සිටින්නේ පැය 40 ක කාලයක් තිස්සේයි.