Friday, April 19, 2024

General line - 0115112241

කුහරයේ සිර වූ දරුවා බේරා ගැනීමේ මෙහෙයුම්වලට වර්ෂාව බාධා කරයි - බාධක මැද මෙහෙයුම් ඉදිරියට




ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ නාඩුකට්ටුපට්ටි ප‍්‍රදේශයේ ළිං කුහරයක් තුළ සිරවී සිටින සුජිත් නමැති කුඩාදරුවා මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව 03වන දිනටත් කි‍්‍රයාත්මකයි. විශේෂ කැනීම් යන්ත‍්‍රයක් යොදාගෙන සිදුකරන මෙම මෙහෙයුම මන්දගාමී වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. දරුවා සිරවී සිටින කුහරය අවට ප‍්‍රදේශය පාෂාණ තට්ටුවකින් ආවරණය වී තිබීම ඊට හේතුව වනවා. 

ඒ අනුව මෙහෙයුමේදී යොදාගෙන ඇති විශේෂ කැනීම් යන්ත‍්‍රයෙන් පවා පැයක් තුළදී කැනීම් සිදුකළ හැක්කේ අඩි 03 ක් හෝ අඩි 05 ක ප‍්‍රමාණයක් පමණක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව ඊයේ (27) රාති‍්‍ර 09.00 පමණ වනවිට අඩි 35 ක කුහරයක් නිර්මාණය කිරීමට සහන කණ්ඩායම් සමත්ව තිබුණා. ඔවුන්ගේ අරමුණ අඩි 100 ක කුහරයක් නිර්මාණය කිරීමයි.
සුජිත් සිරවී සිටින කුහරයට මීටර් 03 ක් පමණ දුරින් සකස් කරන මෙම කුහරයේ සිට මීටරයක පමණ පළලකින් යුත් උමගක් සාදා දරුවා සිටින ස්ථානයට ළඟාවීම සහන කණ්ඩායම්වල අපේක්ෂාව වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ විටින් විට ඇදහැලූනු වර්ෂාව හේතුවෙන් සහන මෙහෙයුම්වලට තවදුරටත් බාධා එල්ල වී තිබුණා.

එහෙත්, සුජිත් සිරවී සිටින ළිං කුහරය තුළට ජලය ඇතුළු නොවන පරිදි ආරක්ෂිත ආවරණ යොදා එම ළිං කුහරය ආවරණය කර ඇති බව ද සඳහන්. 

දරුවා සිහිමුර්ජා තත්ත්වයේ සිටින බවට විශ්වාස කෙරෙන අතර සිදුකෙරෙන කැනීම්වලින් ඔහුට කම්පන තත්ත්වයන් ඇති නොවන පරිදි මෙහෙයුම සිදුකිරීමටයි සහන සේවකයින් උත්සහ දරමින් සිටින්නේ. 

දරුවා මුදාගැනීමට සමත්වුවහොත් ඉක්මනින් සහන සේවා සැපයිය හැකි වන පරිදි ගිනිනිවන භටයින් සහ සහන සේවකයින් 200 ක්, පරීක්ෂකවරුන් 20 දෙනෙකුත්, රජයේ රෝහල් කාර්යය මණ්ඩල සාමාජිකයින් සහ ගිලන් රථ 02 ක් ද අදාළ ස්ථානය තුළ සූදානම් කර තිබෙනවා. 

කෙසේවෙතත්, මේවනවිට පැය 60 ක පමණ කාලයක් පුරා දරුවා එම කුහරය තුළ සිරවී සිටින බැවින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අවිනිශ්චිත බවටයි බලධාරීන් බිය පළ කරන්නේ. අවශ්‍ය ඔක්සිජන් වායුව කුහරය තුළට සැපයුවත්, ජලය හා ආහාර නොමැතිකම ඊට හේතුවයි.