Friday, April 19, 2024

General line - 0115112241

ළිං කුහරයක සිරවූ සුජිත් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් - මෙහෙයුමට තවත් පැය දොළහක් අවශ්‍ය බව බළධාරීන් කියයි




ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටින දරුවා මුදා ගැනීමට තවත් පැය 12 ක් පමණ ගතවෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

දරුවා මුදා ගැනීම සඳහා කැනීම් කරන අඩි 100 ක් පමණ වන කුහරයේ තවත් අඩි  40 ක පමණ කොටසක් කැනීම් කළ යුතු බවයි බලධාරීන් පවසන්නේ. 

කැනීම් සිදුකරන දරුවා සිරවී සිටින ළිං කුහරය වටා ඇති ඝණ පාෂාණ තට්ටුව හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම මන්දගාමී වුණා. 
ප‍්‍රාන්ත අමාත්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කරමින් එම ස්ථානයේ රැඳී සිටියා. 

දරුවා සිරවී සිටින ළිං කුහරය වෙත යොමු කර ඇති කැමරා පද්ධති හරහා වෛද්‍යවරුන් විසින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව ද සඳහන්. 

එහෙත් කිසිඳු ප‍්‍රතිචාරයක් නොදක්වන බැවින් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ බලධාරීන් සැක පළ කරනවා. වයස අවුරුදු දෙකක් වන සුජිත් විල්සන් නමැති මෙම දරුවා අඩි 70 ක් පමණ වන ළිං කුහරය තුළ සිරවී සිටින්නේ පැය 72 කට අධික කාලයක සිටයි. 

තමිල්නාඩුව තුළ මෙවැනි සිද්ධීන් නිරන්තරයෙන් වාර්තා වුවත්, එවැනි අවස්ථාවකට ප‍්‍රතිචාර දැක්වීම සඳහා පහසුකම් සපයා නොගැනීම සම්බන්ධයෙන් ප‍්‍රාන්ත බලධාරීන්ට මේ වනවිට චෝදනා රැසක් එල්ල වනවා. 

එසේම ඇතැමුන් පවසන්නේ අතහැර දමා ඇති වගා ළිං වසා දැමීමට පියවර නොගන්නා පුද්ගලයින් හට දඩ පැනවිය හැකි පරිදි නීති සකස් කළ යුතු බවයි.