Friday, March 29, 2024

General line - 0115112241

කුහරය තුළ සිර වූ දරුවා මියයෑමට හේතු වූයේ නිසි සැළැස්මක් නැති මෙහෙයුමයි - ඉන්දියාවට චෝදනා




තමිල්නාඩුවේ ළිං කුහරයක් තුල සිරවී සිටි දෙහැවිරිදි සුජිත් විල්සන්ගේ අවසන් කටයුතු අද (29) උදැසන සිදු කෙරුණා. ඒ, පවුලේ සාමාජිකයින් ද ඇතුලුව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්.

කෙසේවෙතත් සුජිත්ගේ දිවි බේරා ගැනීමට එරට බලධාරීන් අපොහොසත්වීම නිසා ඉන්දියාවට විවේචන රැසක් එල්ල වනවා.

බොහෝදෙනෙකු චෝදනා කරන්නේ එම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට දින 03 ක් පුරා සිදු කළ මුදාගැනිමේ මෙහෙයුම පලක් නොමැති කි‍්‍රයාවක් බවයි. අධි බලැති යන්ත‍්‍ර උපයෝගි කර ගනිමින් නොනවත්වා සිදු කල කැනිම් නිසා දරුවා තවදුරටත් කුහරය තුල සිරවී ඔහු මතට මඩ තට්ටු පවා ඇදවැටි ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වන ඉන්දිය මාධ්‍ය පැවසුවේ.

මේ අතර හිටපු ඉන්දිය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම්ගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කල පුන්රාජ් පෙන්වා දෙන්නේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව නිසි සැලසුමක් ද රහිතව සිදු කළ මුදා ගැනිමේ මෙහෙයුම නිසා දරුවා මුදා ගැනීමට නොහැකි වු බවයි.

සඳ තරණය කිරිම සඳහා චන්ද්‍රයාන් මෙහෙයුම සංවර්ධනය කර තිබුණත් පොලොව යට සිරවුනු ජිවිතයක් බේරා ගැනීමට තරම් තාක්ෂණය දියුණු වී නොමැති බව යුනිසෙෆ් සංවිධානයේ ජ්‍යෙෂ්ඨයෙකු උපුටා දක්වමින් NDTV රුපවාහිනිය වාර්තා කර තිබෙනවා.

මෙවැනි සිද්ධින් ඔස්සේ උගත් පාඩම් සලකා බලා ඉදිරියේදී සිදුවිය හැකි විපත් වලක්වා ගැනීමට සැලසුම් සකස් කල යුතු බවයි යුනිසෙෆ් සංවිධානයේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර මෙම අවාසනාවන්ත සිදුවීම දරුවන් පිළිබද මීට වඩා අවධානය යොමු කිරීමට සියළු මව්පියන්ට කදිම පාඩමක් බවයි ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයේ ප‍්‍රධානී, මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක ප‍්‍රකාශ කළේ.