Thursday, April 25, 2024

General line - 0115112241

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජස් ආයතනයෙන් ඩොලර් මිලියන 480 ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය 




අමෙරිකාවේ Millennium Challenge Corporation විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ප්‍රධානයක් වන ඇමරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අද (29) හිමිව තිබෙනවා.  

කොළඹ ප්‍රදේශයේ රථවාහන කළමනාකරණය, දිවයින පුරා මාර්ග නිර්මාණය හා සංවර්ධනය සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉඩම් පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම යන ව්‍යාපෘති මෙම ප්‍රධානයන් යටතේ ක්‍රියාත්මක කරන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ.

මෙම ප්‍රධානය උපයෝගී කරගෙන ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ අවශ්‍යතා පදනම් කර ගනිමින් රටේ ප්‍රධාන රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරන නිලධාරීන් විසින් සකස් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. 

Millennium Challenge Corporation (MCC) සමඟ මෙම ගිවිසුම අත්සන් කළ පසුව වුවද ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව මෙම ව්‍යාපෘති සංශෝධනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවේ රජය සතුව පවතින බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඇමරිකාවෙන් මෙම ප්‍රධානය ලබාගන්නා 37 වන රට ශ්‍රී ලංකාව වේ. අද දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දුන් අනුමැතිය අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් නුදුරේදී මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර එය 2020 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

Millennium Challenge Corporation වෙතින් ලැබෙන මෙම ප්‍රධානය ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ප්‍රථම වතාවට සාකච්ඡා ඇරඹුවේ එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් 2001 වර්ෂයේදීය. ඒ අනුව, මෙම සාකච්ඡාව මුදල් අමාත්‍යාංශයේ සහ MCC නියෝජිතයන් අතර පැවැත් වූ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මේ පිළිබඳ අවසන් තීන්දුවට එළඹීමට හැකිවූ බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කලේ.