Saturday, April 20, 2024

General line - 0115112241

ශකිබ් අල්-හසන්ට දෙවසරක තරග තහනමක්




අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී නීති සංග්‍රහයේ චෝදනා තුනක් උල්ලංඝණය කිරීමේ හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ නායක ෂකිබ් අල්-හසන් හට දෙවසරක තරග තහනමක් පනවා ඇති අතර එය වසරකට අත්හිටුවා තිබෙනවා. එම තරග තහනම සියලුම ජාත්‍යන්තර සහ දේශීය තරග වලට බලපාන බවයි ICC ය නිවේදනය කර සිටියේ.

දුෂණ ක්‍රියා සම්බන්ධවීම සඳහා 2018 වර්ෂයේදී පැවති බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති තුන්කොන් එක්දින තරගාවලියේදී සහ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තමන්ට ලද ඇරයුම් සම්බන්ධයෙන් ICC දුෂණ විරෝධී කමිටුව දැනුවත් නොකිරීම ඇතුළු චෝදනා තුනක් සම්බන්ධයෙන් බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා වරද පිළිගෙන ඇති බවයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සියලය නිවේදනය කර සිටියේ.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ නායකයාට එරෙහිව පනවා තිබෙන තරග තහනම 2020 වර්ෂයේ ඔක්තෝම්බර් මස 29 වෙනිදා දක්වා බලපැවැත්වේ. 

තමන්ට එරෙහිව ලද තරග තහනම පැනවීම දැඩි වේදනාවක් බවත්, ක්‍රිකට් ක්‍රීඩාව දුෂණයෙන් තොරවිය යුතු බව තමන් විශ්වාස කරන බව ශකිබ් අල්-හසන් ප්‍රකාශ කර සිටියා. ICC දක්ෂතම එක්දින තරගවල තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් වල පසුවන්නේ ශකිබ් අල්-හසන්ය. 

ටෙස්ට් තරග 56 කදී ලකුණු 3862ක්, එක්දින තරග 206 කදී ලකුණු 6323ක්, විස්සයි 20 තරග 76 කදී ලකුණු 1567 ක් ලබා ගෙන ඇති ශකිබ් අල්සි-හසන් සියලු ජාත්‍යන්තර තරගවලදී දවා ගෙන ඇති මුළු කඩුලු සංඛ්‍යාව 562ක් වේ.