Friday, March 29, 2024

General line - 0115112241

අන්තවාදීන් රැඳී සිටි ලැක්ටෝ වත්තට සැකකටයුතු පිරිසක් ඇතුල්වී ඇති බවට තොරතුරු : නිවසක් තුල කැණීම් සිදුකරලා (PHOTOS)

ජූඩ් සමන්ත




අන්තවාදීන් පිරිසක් රැදී සිටි බව කියන පුත්තලම වනාතවිල්ලුවේ පිහිටි ලැක්ටෝ වත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (29) සවස විශේෂ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

පුත්තලම, වනාතවිල්ලුවේ පිහිටි ලැක්ටෝ වත්තේ තිබී පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් පසුගිය ජනවාරි මස 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා. ඒ මාවනැල්ල ප්‍රදේශයේදී බුදු පිළිම කිහිපයකට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පිරිසක් අත්අඩංගුවට ගෙන සිදුකරනු ලැබූ ප්‍රශ්න කිරීම් වලදී ලැක්ටෝ වත්ත සම්බන්ධයෙන් ලද තොරතුරු මතයි.

වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ලැක්ටෝ වත්ත තුළ අන්තවාදී කණ්ඩායමක් යුධ පුහුණව ලබා ඇති බවද විමර්ශණ වලද අනාවරණය වී ඇත.
මෙම ඉඩමට ඇතුළුට අවසර ලබා දී ඇත්තේ ඉඩමේ හිමිකරුවන්ට පමණි. ඒ ඉඩමේ පලදාව නෙලා ගැනීම සදහායි.

මේ අතර පසුගිය 24 වෙනිදා මෙම වත්තට කිසියම් පිරිසක් පැමිණ ඇති බවට ආරක්ෂක අංශ වෙත තොරතුරක් ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශණයකදී අනාවරණය වී ඇත්තේ එම වත්තේ ඇති නිවස තුළ කිසියම් කැණීමක් සිදු කර ඇති බවයි. 

නිවසේ බිම අතුරා ඇති කොන්ක්‍රීට් තට්ටුව කඩා අඩි කීපයක් කැණීම් සිදු කර ඇති බවද එම විමර්ශණයේදී අනාවරණය වී ඇත. ඒ අනුව වනාතවිල්ලුව පොලීසිය විසින් මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැණුවත් කිරීමෙන් අනතුරුව අද දින විමර්ශණ ආරම්භ කරනු ලැබුවා.

කැණීම් සිදු කරන ලද පුද්ගලයින් එහි තිබී කිසියම් දෙයක් රැගෙන ගියාද? ඒ මොනවාද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ රජයේ රස පරීක්ෂකවරයා විසින් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.