Friday, March 29, 2024

General line - 0115112241

ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ මිනිස් ජාවාරමේ නිරත ජාවාරම්කරුවෙක් කටුනායකදී අත්අඩංගුවට (PHOTOS)

ටී.කේ.ජී.කපිල - කටුනායක




වී-චැට් නැමති චීනයේ ක්‍රියාත්මක සමාජ ජාල වෙබ් අඩවියක් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් දකුණු ආසියානු කලාපයේ රටවල තරුණියන් චීනය වෙත ගෙන්වා ගෙන සිදු කෙරෙන මහා මිනිස් ජාවාරමක ප්‍රධානියා ඊයේ (01) දින සවස කටුනායක ගුවන් තොටුපලේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන යළි ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කර තිබෙනවා.

වෑන් ඩොන්ග් (Wang Dong) නැමැති 28 හැවිරිදි චීනයේ මිනිස් ජාවාරම් හි නිරත එරට වැසියෙක් බවයි කටුනායක ආගමන විගමන බලධාරීන් පැවසුවේ.

ඊයේ සවස 2.45 ට අබුඩාබි නුවර සිට පැමිණි ඉතිහාඩ් ගුවන් සේවයේ EY- 264 දරන ගුවන් යානයෙන් මෙම චීන ජාතිකයා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම චීන ජාතිකයා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ ආගමන කවුළුව වෙත පැමිණි විගසම ඔහු පිළිබඳව ඇති වූ සැකය මත ආගමන විගමන නිලධාරීන් විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබූවා.

චීනයේ ක්‍රියාත්මක වී-චැට් නමැති සමාජ මාධ්‍ය ජාලයේ ගිණුමක් අරඹා ඇති මෙම පුද්ගලයා, චීන ජාතික සුරූපී තරුණියකගේ ජායාරූපයක් යොදා ගනිමින් කාන්තාවක් ලෙස පෙනී සිටින් මෙම මිනිස් ජාවාරමේ නිරතව තිබෙනවා. 

ඔහු විසින් ඒ හරහා දකුණු ආසියානු කළාපයේ රටවල තරුණියන් සමග සම්බන්ධතා ගොඩ නගා ගනිමින් පසුව ඔවුන්ගේ විශ්වාසය තහවුරු වූ පසුව එම තරුණියන්ට චීනයේ රැකියා ලබා දෙන බව පවසා ඔවුන් චීනය වෙත ගෙන්වා ගෙන ඔවුන්ව මිනිස් ජාවාරම් සඳහා යොමු කරනා බවයි හෙළිවී ඇත්තේ. 

අත්අඩංගුවට ගන්නා ලද එම චීන ජාතික ජාවරම්කරු සතු ජංගම දුරකථනය ඇසුරෙන් සිදු කරන ලද විමර්ශන වලදී ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ බව අනාවරණය කර ගෙන ඇති බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කලේ.

එමෙන්ම වැඩිදුරටත් සිදු කරන ලද විමර්ශන වල දී මොහු ශ්‍රී ලංකාව වෙත මෙසේ පැමිණ ඇත්තේ ද මෙරට තරුණියන් පිරිසක් මේ ආකාරයට චීනය වෙත රැගෙන යෑමට බව ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් අනාවරණය කර ගෙන ඇත්තේ.

මෙම අත් අඩංගුවට ගැනීම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් මර්දන ඒකකය සහ කටුනායක ගුවන් තොටුපල දේශ සීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබුවා.

මේ සියලු කරුණු අනාවරණය වීමෙන් පසුව මෙම චීන ජාතිකයා ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් යානයෙන්ම ආපසු අබුඩාබි නුවර වෙත පිටුවහල් කිරීමට ආගමන විගමන නිලධාරීහු පියවර ගනු ලැබුවා.