Thursday, April 25, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ගෘහ සේවිකාවන් "වහලුන්" සේ විකිණු පිරිසක් ගැන විමර්ශන ඇරඹේ 




මැද පෙරදිග රටවල සේවය සඳහා යන ගෘහ සේවිකාවන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වහලුන් ලෙස විකිණීම සඳහා ගිණුම් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයින් පිරිසක් සම්බන්ධයෙන් කුවේට් බලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය ආයතනයක් විසින් සිදුකරන ලද ගවේෂණාත්මක විමර්ශනයකදී හෙළිවී ඇත්තේ ගුගල්, ඇපල් යන සමාගම් ලබාදී ඇති සේවාවන් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය අඩවියේ හිමිකාරිත්වය දරණ ඉන්ස්ටර්ග්‍රෑම් වෙබ් අඩවිය ඔස්සේ කුවේටයේ පුද්ගලයින් පිරිසක් ඉතා සංවිධානාත්මකව මෙලෙස මැදපෙරදිග සේවයට පැමිණෙන ගෘහ සේවිකාවන් වහලුන් සේ විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන යන බවයි.

මේ සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ දැනුම් දීමක් අනුව අදාළ සමාජ මාධ්‍ය ජාල ගිණුම් පවත්වාගෙන යනු ලබන පුද්ගලයින් හඳුනාගෙන එම ගිණුම් අත්හිටුවන ලෙස ඔවුන්ට දැනුම් දීමට කුවේට් බලධාරීන් පියවර ගෙන ඇත. එමෙන්ම මින් ඉදිරියට එවැනි ක්‍රියාවන් හි නිරත නොවන බවට සහතික කරමින් නීතිමය ගිවිසුමකට අත්සන් තැබීමට අදාළ පුද්ගලයින්ව එරට කම්කරු දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවද සඳහන්.

සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ගෘහ සේවිකාවන් වහලුන් සේ විකිණීමට කටයුතු කරනු ලැබූ පුද්ගලයින් පවත්වා ගෙන ගිය ගිණුම් අක්‍රිය කිරීමට සහ එවැනි කටයුතු මින් ඉදිරියට සිදුනොවීමට අදාළ සාමාජ මාධ්‍ය අවශ්‍ය පියවර ගන්නා බවට දැනුම් දී ඇති බවයි මේ සම්බන්ධයෙන් ගවේෂණයක යෙදුනු BBC මාධ්‍ය ආයතනය සඳහන් කරන්නේ.

එමෙන්ම මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් නිතිය හමුවට ගෙන යාමට සහ වින්දිතයින්ට වන්දි ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි කුවේට් බලධාරීන් ප්‍රකාශ කර සිටින්නේ.