Friday, April 19, 2024

General line - 0115112241

රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට - නවසීලන්තයේ වාර්තාවකුත් සම වෙයි




එංගලන්තය පරාජය කරමින් 2019 රග්බි ලෝක කුසලානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාව අද (02) සමත් වුණා. අවසන් මහා තරඟය පැවැත්වුණේ ජපානයේ යොකොහාමා ක්‍රීඩාංගණයේදීයි. එහිදී ලකුණු 32 ට 12 ක් ලෙස එංගලන්තය පරාජය කළ දකුණු අප්‍රිකාව තුන්වන වරටත් රග්බි ලෝක කුසලානය තමන් සතු කර ගත්තා.

මෙම ජයග්‍රහණයත් සමග වැඩිම වාර ගණනකදී රග්බි ලෝක කුසලානය දිනූ කණ්ඩායම ලෙස නවසීලන්තය පිහිටුවා තිබූ වාර්තාව සම කිරීමට ද දකුණු අප්‍රිකාව මෙහිදී සමත් වීම විශේෂත්වයක්. ඒ අනුව දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය, අවස්ථා 03 බැගින් මේ වනවිට රග්බි ලෝක කුසලානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. 

අද පැවති අවසන් මහා තරඟයේ පළමු අර්ධය නිමා වනවිට ලකුණු 12 ට 06 ක් ලෙස ඉදිරියෙන් පසු වුණේ දකුණු අප්‍රිකාවයි. ඔවුන් දෙවන අර්ධයේදී ලකුණු  20 ක් රැස් කරගත් අතර එහිදී එංගලන්තය රැස් කළේ ලකුණු 06 ක් පමණයි. ඒ අනුව සියා කොලිසිගේ නායකත්වය යටතේ වසර 12 කට පසු රග්බි ලෝක කුසලානය සිය මව්බිමට රැගෙන යාමට දකුණු අප්‍රිකාව මෙහිදී සමත් වුණා. 

මීට පෙර 1995 සහ 2007 වසරවලදී ද දකුණු අප්‍රිකාව රග්බි ලෝක ශූරයින් බවට පත් වුණා. මේ අතර අද පැවති අවසන් මහා තරඟයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වින්ගර් ක්‍රීඩකයින් දෙදෙනා උත්සාහක දිනුම් වාර්තා කළ අතර එය වාර්තා අතරට එක් වුණේ, ලෝක කුසලාන අවසන් මහා තරඟයක දකුණු අප්‍රිකාව උත්සාහක දිනුම් වාර්තා කළ පළමු අවස්ථාව ලෙසයි.

32 හැවිරිදි දකුණු අප්‍රිකානු ක්‍රීඩක ෆ්‍රැන්සිස් ස්ටේන් ද අද තරඟයේදී නව වාර්තාවක් පිහිටවනු ලැබුවා. එවකට 20 වන වියේ පසු වූ ඔහු 2007 වසරේ ලෝක කුසලානය ජය ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ අතර, ඔහු මෙවර ලෝක කුසලානය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ද ක්‍රීඩකයෙකු වීම විශේෂත්වයක්. ඒ අනුව ෆ්‍රැන්සිස් ස්ටේන් වාර්තා පොත් අතරට එක් වූයේ රග්බි ලෝක කුසලාන 02 ක් ජයගත් පළමු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා ලෙසයි.