Friday, April 19, 2024

General line - 0115112241

MCC ගිවිසුමේ අතුරුදන් බව කියන පිටු 02ක ගැන පැහැදිළි කරයි




දැඩි ආන්දෝලනයට තුඩුදුන් අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් මේ වනවිට යළිත් කතාබහක් මතුව තිබෙනවා.

ඒ, ජනතාව අතර හුවමාරු වන එම ගිවිසුමේ පිටු 02 ක් නොමැති වීම හේතුවෙන්. මෙලෙස හුවමාරු වන්නේ මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියේ බාගත කර ගත් අදාළ ගිවිසුමේ දළ පිටපතක්. මෙලෙස හුවමාරු වන ගිවිසුමේ 12 සහ 13 යන පිටු එහි ඇතුළත්ව නැහැ.

මේ සම්බන්ධයෙන් ඊයේ (05) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී ද අදහස් පළ වුණා.

ඊට සහභාගී වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රොෂාන් රණසිංහ කියා සිටියේ "තවත් රටවල් විශාල ප්‍රමාණයක් අමනාප කරගනිමින් මෙම ගිවිසුම අත්සන් නොකළ යුතුයි. දැන් මේ ගිවිසුම වෙබ් අඩවියට දාලා තියෙනවා. දාලා තිබ්බට ඒකේ 12 සහ 13 පිටු  නෑ. ඒ කියන්නේ මේ ගිවිසුම අහෝසි කරන ක්‍රමය සහ අවසානය මොන දේවල් තියෙනවාද කියලා දන්නේ නෑ...මේකත් හංගලා ගහලා තියෙන්නේ. විශේෂයෙන් මේ ගිවිසුම් අත්සන් කරපු පිලිපීනය වගේ රටවල් අද මේකෙන් අයින් වෙන්න බැරුව ඉන්නවා.." යනුවෙනි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ පළමුව වෙබ් අඩවියට ඇතුළත් කළ ගිවිසුමෙහි දළ පිටපතේ තිබූ පිටු 02 ක් ප‍්‍රමාද දෝෂයකින් ඊට ඇතුළත්ව නොමැති බවයි. මේ වනවිට සම්පූර්ණ ගිවිසුම වෙබ් අඩවියට ඇතුළත් කර ඇති බව ද ප‍්‍රකාශ කෙරුණා. 

එහිදී "තාමත් ඒක එහෙම නෑ කිය කිය රට බය කිරීමට උත්සහ කරනවා." යනුවෙන් ද සඳහන් කළා. අමාත්‍ය පාඨලී චම්පික රණවක වැඩි දුරටත් ප‍්‍රකාශ කළේ ගිවිසුමේ කරුණු සැගවීමට ආණ්ඩුවට අවශ්‍ය නොවන බවයි. 

අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන බව අග‍්‍රාමාත්‍යවරයා මෙන්ම අමාත්‍යවරුන් වන සජිත් පේ‍්‍රමදාස සහ පාඨලී චම්පික රණවක ද මේවනවිටත් ප‍්‍රකාශ කර අවසන්. 

ගිවිසුමට එරෙහිව මාරාන්තික උපවාසයේ නිතර වූ  පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශ කළේ එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව ද එම ගිවිසුමට අත්සන් තබන්නේ නම් එවැන්නක් සිදුකරන්නේ, ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී සිදුකරන සංවාදයකින් පසුව බවයි. 

ආණ්ඩුවේ මෙම ප‍්‍රතිචාරයත් සමග ගිවිසුමට එරෙහිව මාරාන්තික උපවාසයේ නිතර වූ පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් අද (06) අලුයම සිය උපවාසය අත්හැරිමටයි තීරණය කළේ. 

මේ අතර ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ දිනයේ සිට මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වන මොහොත දක්වා මෙම ආණ්ඩුව විසින් අත්සන් තබන ලද සියලුම ගිවිසුම් යළි සලකා බලන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද අවධාරණය කළා.

(ඊයේ රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ්. එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)