Wednesday, April 24, 2024

General line - 0115112241

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාගයට සූදානම්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ පළමු විභාගය එළඹෙන සතියේදී විභාගයට ගැනීමට නියමිත බව කොංග‍්‍රසය නියෝජනය කරන ඩිමෝක‍්‍රටික් සාමාජිකයින් පවසනවා.

එහිදී රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් තිදෙනෙක් පළමුව සාක්ෂි ලබාදීමට නියමිතයි. රිපබ්ලිකන් සහ ඩිමොක‍්‍රටික් නීති සම්පාදකයින් විසින් මෙම සාක්ෂි විමසීම සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහි කිසිඳු අවස්ථාවක් සජීවී ලෙස විකාශය නොකිරීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ. 

අමෙරිකාවේ හිටපු උප ජනාධිපති ජෝ බයිඞ්න්ගේ පුත‍්‍රයාට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීමට යුක්රේන ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට චෝදනා එල්ල වනවා. ජනාධිපතිවරයා දෝෂාභියෝගයට ලක්වන්නේ ද එම චෝදනාව යටතේයි. කෙසේවෙතත් තමන්ට එරෙහිව එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පැවසුවේ.

හිටපු උප ජනාධිපති ජෝ බයිඞ්න්, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයෙකු ලෙස එළඹෙන ජනාධිපතිවරණයට ද ඉදිරිපත්වීමට නියමිතයි. 

විදෙස් වාර්තා පවසන පරිදි මෑත කාලීන අමෙරිකානු ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් එල්ල වී ඇත්තේ  අවස්ථා 02 කදී පමණයි. 

ඒ, හිටපු ජනාධිපතිවරුන් වන ඇන්ඩෲ ජොන්සන්ට සහ බිල් ක්ලින්ටන්ට එරෙහිවයි. එහෙත් එම දෝෂාභියෝගයන් 02 කම පරාජයට පත්ව තිබෙනවා. අමෙරිකාවේ හිටපු ජනාධිපති රිචඞ් නික්සන් හටද දෝෂාභියෝග චෝදනා එල්ල වී ඇති අතර එය විභාගයට ගැනීමට පෙර ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණා.