Thursday, April 25, 2024

General line - 0115112241

මතභේදාත්මක අයෝධ්‍යා ශුද්ධ භුමියේ අයිතිය හින්දු භක්තිකයින්ට : මුස්ලිම්වරුන්ට වෙනත් තැනක් දෙන්නැයි අධිකරණ තීන්දුවක් 




ඉන්දියාවේ වඩාත්ම මතභේදාත්මක හා මාරාන්තික ආගමික ආරවුල් වලින් එකක් වන අයෝධ්‍යා ශුද්ධ භූමිය හින්දු භක්තිකයන්ට ලබා දිය යුතු බවට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) සිය තීන්දුව ලබා දෙමින් ප්‍රකාශයට පත් කළා.

මතභේදයට තුඩුදුන් ඉඩම හින්දු දේවස්ථානයක් ඉදිකිරීම සඳහා රජයේ භාරකාරීත්වය තීන්දු කළ අතර මුස්ලිම්වරුන්ට පල්ලියක් ඉදිකිරීම සඳහා වෙනත් ස්ථානයකින් අක්කර 05ක ඉඩමක් ලබාදීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය අද සිය තීන්දුව ලබා දෙමින් නියෝග කර ඇත්තේ.

හින්දූන් එය රාම දෙවියන්ගේ උපත සිදුවූ ස්ථානය ලෙස සලකන අතර, සියවස් ගණනාවක් තමන් එහි වන්දනාමාන කළ බව ඉස්ලාම් බැතිමතුන් සඳහන් කර සිටිනවා. 

16 වන ඉස්ලාම් දෙස්වස්ථානය 1992 වර්ෂයේ හින්දු කැරළිකරුවන් විසින් කඩා බිඳ දැමුවා. මේ හේතුවෙන් ඇතිවූ කෝලහාල හේතුවෙන් පුද්ගලයින් 2000 කට ආසන්න පිරිසක් මියගිය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම මතභේදාත්මක නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර අයෝධ්‍යා හි විරෝධතාවයේ යෙදුණු පුද්ගලයින් සිය ගණනක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඇතිවිය හැකි ගැටුම්කාරී වාතාවරණය මැඩ පැවැත්වීම සඳහා අයෝධ්‍යා හි රජයේ ආයතන, විශ්ව විද්‍යාල, කඩ සාප්පු සඳුදා දක්වා වසා තැබීමට කටයුතු යොදා අතර ආරක්ෂාව සඳහා දහස් ගණනක පොලිස් බලමුළුවක් යොදා ඇත.

මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් හා ඇතිවිය හැකි ගැටුම්කාරී වාතාවරණයන් වැළැක්වීම සඳහා ඉන්දියාවේ සමාජ මාධ්‍ය ජාල නිරීක්ෂණය කිරීමට ද පොලිසිය කටයුතු යොදා ඇත. මතභේදාත්මක ට්විටර් සටහන් දමා ඇති පරිශීලිකයින් ගෙන් ඒවා ඉවත් කරන මෙන් පොලිසිය ඉල්ලා තිබෙනවා.

ජනතාවට සමාදානයෙන් සහ සංයමයෙන් යුතුව කටයුතු කරන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදී ඇතුළු දේශපාලන නායකයින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.