Friday, March 29, 2024

General line - 0115112241

ගෝඨාභයගේ නම සඳහන් ලොස් ඇන්ජලීස් ගුවන් ටිකට්පත ආණ්ඩුවේ තවත් මඩ ප්‍රචාරයක් බව මහින්ද කියයි




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර බලා පිටත්ව යාමට සූදානම්ව සිටින බවට ඇඟවෙන, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ගුවන් ටිකට් පත ව්‍යාජ එකක් බව, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. මෙය ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නියත ජයග්‍රහණය වැළැක්වීමේ අරමුණින් ආණ්ඩුවේ පාර්ශව දියත් කළ තවත් එක් මඩ ප්‍රචාරයක් බවයි ඔහු මහනුවරදී කියා සිටියේ.

මේ අතර බදුල්ලේ අද පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් මෙම ගුවන් ටිකට්පත ව්‍යාජ එකක් බවයි. ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වැළැක්වීමට ආණ්ඩුවේ පාර්ශව මඩ ප්‍රචාරක සතියක් ක්‍රියාත්මක කර ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් අදාළ ගුවන් ටිකට්පත සියයට සියයක් ව්‍යාජ එකක් බවයි.