Saturday, April 20, 2024

General line - 0115112241

IS සංවිධානයට සහය දෙන ගෘහසේවිකාවන් ගැන සිංගප්පූරුවෙන් හෙළිදරව්වක්




හොංකොං සහ සිංගප්පූරුවේ ගෘහසේවිකාවන් ලෙස කටයුතු කරන කාන්තාවන් සම්බන්ධයෙන් සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍යංශය හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.

ඉන් දැක්වෙන්නේ එම කාන්තාවන් IS සංවිධානයට අනුබද්ධව කටයුතු කරන බව මේ වනවිට අනාවරණ වී ඇති බවයි.

ගෘහසේවිකාවන් ලෙස සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ ඉන්දුනීසියානු කාන්තාවන් පිරිසකගෙන් සිංගප්පූරු බලධාරීන් මේ බව තහවුරු කරගෙන තිබෙනවා.

එම සේවිකාවන් පිරිස පැය 08 ක ගෘහ සේවා කාලය නිමවා ඉන්පසුව අන්තර්ජාලය හරහා IS සංවිධානයේ ප‍්‍රවර්ධන කටයුතු සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

මීට අමතරව IS සටන්කාමීන් සඳහා මුදල් රැස්කිරීම ද ඔවුන් විසින් සිදු කර තිබෙනවා. ඉන් එක් කාන්තාවක් සිරියාවේදී මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් සිදු කිරීමට වුවද සූදානමින් සිටි තැනැත්තියක බව ද අනාරවණ වී ඇති බවයි සිංගප්පූරු බලාධාරීන් ප‍්‍රකාශ කළේ. 

සිංගප්පූරුවේ අභ්‍යන්තර ආරක්ෂක පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති මෙම කාන්තාවන් පිරිසට චෝදනා එල්ල වී ඇත්තේ ත‍්‍රස්ත මූල්‍ය කටයුතු සඳහා හවුල්කාරීත්වය දැක්වීම සම්බන්ධවයි.

ඒ අනුව ඔවුන් වසර 10 ක සිරදඬුවමකට හෝ සිංගප්පූරු ඩොලර් ලක්ෂ 05 ක දඩ මුදලකට යටත් වනු ඇති බවයි වාර්තා වන්නේ. 

මැදපෙරදිග කලාපය පුරා සිය බලය විහිදුවා සිටි IS සටන්කාමීන්ගේ බලකොටු බිඳවැටීමත් සමගම ඔවුන්ගේ අවධානය ආසියාව දෙසට යොමුව තිබෙනවා. ඒ අනුව ඔවුන් සිංගප්පූරුව හා හොංකොං වැනි දියුණු රටවල වෙසෙන ගෘහසේවිකාවන් ඉලක්ක කර සංවිධානාත්මක ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවටයි සිංගප්පූරු ආරක්ෂක විශේෂඥයින් අනාවරණ කරන්නේ.