Saturday, April 20, 2024

General line - 0115112241

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ගුවන් ගමන් ඇරඹේ (PHOTOS)




යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල සාමාන්‍ය මගීන් සඳහා විවෘත කරමින් ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත මගීන් පිරිසක් රැගත් පළමු ගුවන්  යානය අද (11) දහවල් 12.30 ට ළඟාවුණා.

එසේ පැමිණියේ ඉන්දීය ගුවන් සේවයට අයත් AL 9102 දරණ ගුවන් යානයයි.

එම ගුවන් යානය  යළිත්  යාපනයේ සිට අද දහවල් 12.45 ට චෙන්නායි බලා පිටත් වුණා. 

උතුරු පළාත්  ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් ද එම ගුවන් යානයෙන් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට චෙන්නායි බලා ගමන් කළා.

යාපනය හා චෙන්නායි අතර එක් ගමන් වාරයක් සඳහා ගාස්තුව රුපියල් 7900 ක් වනවා. සතියේ සඳුදා, බදාදා සහ සෙනසුරාදා යන දිනවල මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක වෙනවා.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල නිල වශයෙන් ඔක්තෝබර් මස 17 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

මෙම ගුවන් තොටුපලේ පළමු අදියරයේ නවීකරණ කටයුතු  සඳහා රුපියල් මිලියන 2500 ක මුදලක් වැය වූ අතර ඉන් රුපියල් මිලියන 300 ක මුදලක් ඉන්දීය රජය විසින් දරණු ලැබුවා.