Wednesday, April 24, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය තහනම් කරන්නැයි ඉල්ලීම් ලැබී තිබෙනවා : මැතිවරණ කොමසාරිස් කියයි 




සමාජ මාධ්‍ය ජාල තහනම් කරන මෙන් විවිධ පාර්ශව විසින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් සිදුකර ඇති බවත් මේ දක්වා එවැනි තීරණයක් ගෙන නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටිනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ අද (13) මධ්‍යම රාත්‍රියෙන් පසුව ෆේස්බුක් ඔස්සේ මුදල් ගෙවා සිදුකරනු ලබන දේශපාලන ප්‍රචාරණයන් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගමෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවයි.

එමෙන්ම ආගමික සිද්ධස්ථාන වල පවත්වන ආගමික උත්සව හරහා දේශපාලන අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමෙන් වලකින ලෙස ද මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සියලුම ආගමික නායකයින් ගෙන් ඉල්ලා සිටියා.

උපකාරක පන්තිවල ගුරුවරුන් හරහා එම පන්තිවල ඉගෙනුම ලබන දරුවන්ට අහවල් අපේක්ෂකයාට ජන්දය ලබාදෙන්න කියා දැනුම් දෙමින් සිටින බවත් එවැනි ක්‍රියා වහා නතර කරන මෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කර සිටියා. එමෙන්ම ජන්ද කාර්යාල ඉදිරිපිට තිබෙන කටවුට් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් අනිද්දා (15) වන විට සියලුම මැතිවරණ කාර්යාල ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව කියා සිටියේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 750 ක් පමණ වැය වෙතැයි සිතුවත් එම වියදම ඊට වඩා වැඩි වෙතැයි සිතන බව ජනාධිපතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ.

මිට අමතරව මැතිවරණ ප්‍රචාරක කාල සීමාවේදී නීති උල්ලංඝණය කරනු ලැබූ රජයේ විද්‍යුත් මාධ්‍ය ආයතන දෙකක නිලධාරීන්ට එරෙහිව මැතිවරණයෙන් පසුව නිතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටියා. අද සවස මැතිවරණ කොමිසමේ පැවැත්වෙන රැස්වීමක් පැවැත්වෙන අතර එහිදී මාධ්‍ය ආයතන හැසිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බවයි ප්‍රකාශ කර සිටියේ. ඇතැම් විට මාධ්‍ය ආයතන කිහිපයකට නිල ජන්ද ප්‍රතිපල නිකුත් කිරීම අත්හිටුවිමටද ඉඩ ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ. මෙවර ජනාධිපතිවරණයේදී තරම් මාධ්‍ය ආයතනවල හැසිරීම ගැටළුකාරී බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම අද මධ්‍යම රාත්‍රියෙන් පසුව උපවාස සිදුකරන ස්ථාන ඇත්නම් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන මෙන් දන්වා පොලිස්පතිවරයාට ලිපියක් යවා ඇති බවත් එමෙන්ම ආගමික උත්සවයන් ඔස්සේ දේශපාලන ප්‍රචාරණය කිරීම සඳහා ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන මෙන් පොලිසියට දැනුම් දී ඇති බව කියා සිටියා.

2015 වර්ෂයේ ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවූ බව ද මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණයේ ජන්ද ප්‍රතිපල මැතිවරණ කොමිසන් සභාව විසින් සෘජුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නිකුත් කරන බවයි. එම ප්‍රතිපල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සෙසු මාධ්‍ය ආයතන වෙත නිකුත් කරන බවත්, ඊට අමතරව මැතිවරණ කොමිසන් සභාවේ නිල ෆේස්බුක් පිටුව සහ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිපල නිකුත් කරන බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ.

මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සිය ජන්දය ප්‍රකාශය කිරීමේදී ඒවා ජයාරූප ගැනීම සඳහා වීඩියෝ කිරීමේ අවස්ථාව ආවරණය කිරීම සඳහා මැතිවරණ කොමිසන් සභාව විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පමණක් අවසර ලබාදී ඇති බව එහි අධ්‍යක්ෂක ජනරාල් නාලක කලුවැව ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපති අපේක්ෂකයින් සහ ජනාධිපති ඇතුළු ප්‍රභූවරුන් ජන්දය ප්‍රකාශ කිරීමේ වීඩියෝ සහ ජයාරූප හැකි ඉක්මනින් මාධ්‍ය ආයතන වෙත ලබාදීමට කටයුතු කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් නාලක කලුවැව ප්‍රකාශ කර සිටියේ.