Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා තෝරන ජනාධිපතිවරණය ඇරඹේ - අපේක්‍ෂකයන් 35 දෙනෙකු තරග බිමේ




මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා  පත් කර ගැනෙන ඡන්ද විමසීම ආරම්භ වුනා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඒ සඳහා මේ වන විටත් සියළු කටයුතු යහපත් අන්දමින් සිදුකෙරෙන බවයි. ඡන්ද විමසීම ආරම්භ වුනේ පෙරවරු 7ටයි. පස්වරු 5 දක්වා ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වනවා. 

මෙවර ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 35ක්. ඉන් අපේක්ෂකයින් 20 දෙනෙකු ඉදිරිපත්ව ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂවලින්. 

තවත් 15 දෙනෙකු ස්වාධීන අපේක්ෂකයින් ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. 2018 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයක්. ඡන්දබල ප්‍රදේශ 160 ක් ආවරණය වන පරිදි ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙනවා. 

ඒ සඳහා ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව   12,845 ක්. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන ඇති වලංගු හැඳුනුම්පතක් තිබීම අත්‍යවශ්‍ය බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ. 

එමෙන්ම විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින්ට සිය විදෙස් ගමන් බලපත්‍රය පෙන්වා 2018 ඡන්ද හිමි නාමලේඛණයේ නම ඇතුළත්ව ඇත්නම් ඔවුන්ට සිය ඡන්දය භාවිත කිරීමට හැකි බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ. 

මේ අතර, රෝගී සහ වයෝවෘද්ධ පුද්ගලයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇති බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළා.

ඡන්ද විමසීම පස්වරු 5.00ට අවසන් වීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට නියමිතයි. දිවයිනපුරා එවැනි මධ්‍යස්ථාන 43ක් පිහිටුවා තිබෙනවා. 

ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු මුලින්ම තැපැල් ඡන්ද ගණනය කිරීම ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් සදහන් කළේ. 

මෙවර ජනාධිපතිවරණයේ රාජකාරී සදහා රාජ්‍ය නිලධාරීන් ලක්‍ෂ 4 ක් පමණ යොදවා සිටිනවා.