Friday, March 29, 2024

General line - 0115112241

මෙවර ජනාධිපතිවරණයේදී ඉතිහාසගත වන කරුණු රැසක්




අද පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ  සුවිශේෂතා රැසක් තිබෙනවා. ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් තරග වදින ජනාධිපතිවරණය ලෙසයි මෙවර ජනාධිපතිවරණය ඉතිහාස ගත වන්නේ. 

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 දෙනෙකු තරග වැදීම හේතුවෙන් ඡන්ද පත්‍රිකාවේ දිගද අඟල් 26ක් පමන වනවා. ඒ අනුව එයද මෙරට මැතිවරණ ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව ලෙසයි ඉතිහාස ගත වන්නේ. 

පෙර පැවති මැතිවරණවලදී ඡන්ද විමසීම පස්වරු 4 ට අවසන් කෙරුණු අතර මෙවර ජනාධිපතිවරණයේදී තවත් පැයක අතිරේක කාලයක් ඡන්දය ප්‍රකාශය කිරීමට අවස්ථාව ලබාදී තිබීමද විශේෂත්වයක්.

මේ අතර ජනාධිපතිවරයා,  බලයේ සිටින අග්‍රාමාත්‍යවරයා හෝ විපක්ෂනායකවරයා ජනාධිපතිවරණයක් සදහා ඉදිරිපත් නොවන පළමු අවස්ථාවද මෙය වනවා. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින එකම අපේක්ෂිකාව වන්නේ ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ආචාර්ය අජන්තා වීරසිංහ පෙරේරායි. 

1994 වසරේ පැවති ජනාධිපතිවරණයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තරග වැදීමෙන් පසු ජනාධිපතිවරණයක් සදහා කාන්තාවක් තරග වදින පළමු අවස්ථාවද මෙය වනවා. හිටපු ජනාධිපතිවරයෙකුගේ පුත්‍රයෙකු සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ සහෝදරයෙකු මෙරට ජනාධිපතිවරණයක් සදහා තරග වදින පළමු අවස්ථාවද මෙය වනවා. 

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්‍ෂවලින් නොමැතිව ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයින් මෙහිදී වෙනත් පක්ෂවලින් මෙවර ජනාධිපතිවරණය සදහා තරග වැදීමද විශේෂත්වයක්. 

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය සදහා සිය අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කර ඇත්තේ 2005 වසරෙන් පසුවයි. මෙරට මැතිවරණ ඉතිහාසයේ වැඩිම පිරිවැයක් දරන මැතිවරණය ලෙසයි මෙවර ජනාධිපතිවරණය ඉතිහාස ගත වන්නේ. මෙවර ජනාධිපතිවරණය සදහා රුපියල් කෝටි 750කට වැඩි මුදලක් වැයවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. 

මේ අතර මෙවර ජනාධිපතිවරණය සදහා ඡන්දය භාවිත කිරීමට දෙලක්ෂ 31,229 ක නව ඡන්ද දායකයින් පිරිසක් සිටීමද මෙවර ජනාධිපතිවරණයේ තවත් විශේෂත්වයක්. 2015 ජනාධිපතිවරණයට සාපේක්‍ෂව මෙවර ජනාධිපතිවරණය සදහා නව ඡන්ද දායකයින් නව ලක්‍ෂ 47,607 දෙනෙකු ලියාපදිංචි වී සිටිනවා.

මේ අතර මෙවර ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම ඡන්ද දායකයින් සංඛ්‍යාව 17 ලක්‍ෂ 51,892 ක්. වැඩිම ඡන්ද දායකයින් පිරිසක් ලියාපදිංචි වී සිටින දෙවන දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. එම දිස්ත්‍රික්කයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් 16 ලක්‍ෂ 70,403 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.