Friday, March 29, 2024

General line - 0115112241

රන් පාදම සහිත චූඩාමාණික්‍යය මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය කෙරේ




අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේට පැළඳවීමට නියමිත රන් පාදම සහිත චූඩාමාණික්‍යය මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය කිරීම අද (18) ආරම්භ වනවා.

ඒ, කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි. ඒ අනුව අද සිට ලබන 20 වැනිදා දක්වා දින 03 ක් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී රන් පාදම සහිත නව චූඩාමාණික්‍යය දැක බලා ගැනීමට මහජනයාට අවස්ථාව සලසා දී තිබෙනවා.

මේ මස 21 වැනිදා රන් පාදම සහිත චූඩාමාණික්‍යය කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ සිට අනුරාධපුරය දක්වා වැඩම කරවීමට නියමිතයි.

ඉන් අනතුරුව මෙම මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා දින 3 ක් අනුරාධපුර රුවන්වැලි සෑ පූජා භූමියේ විශේෂ කුටියක නව රන් පාදම සහිත නව චූඩාමාණික්‍ය මහජන වන්දනාව සදහා ප්‍රදර්ශනය කෙරෙනවා.

චූඩාමාණික්‍යය සහිත රන් පාදම මහා සෑ රදුන් මත පැළදවීම සිදු කෙරෙන්නේ මේ මස 25 වැනිදායි. රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය කිරීම මේ මස 26 වැනිදා සිදු කිරීමට නියමිත බවයි නුවරකලාවියේ ප්‍රධාන සංඝ නායක ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.