Tuesday, April 16, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ 33 දෙනෙක්ගේ ඇප රාජසන්තක කෙරේ




මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 35 දෙනාගෙන් 33 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 12.5 ක ප්‍රතිශතයක් ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් එම අපේක්ෂකයින් 
33 දෙනාගේ ඇප මුදල් රාජසන්තක වන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ.

ඉකුත්දා පැවති ජනාධිපතිවරණයේදී සියයට 12.5 ඉක්මවූ ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වැදුණු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරඟ වැදුණු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පමණයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 20 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වූ අතර තවත් අපේක්ෂකයින් 15 දෙනෙකු ස්වාධීන අපේක්ෂකයින් ලෙස තරඟ වැදුණා.

පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු මෙවර ජනාධිපතිවරණයේදී රුපියල් 50,000 බැගින් ඇප මුදල් තැන්පත් කළ අතර ස්වාධීනව තරග වැදුණු අපේක්ෂකයින් රුපියල් 75,000 බැගින් ඇප තැන්පත් කළා. 

ඒ අනුව මෙවර ජනාධිපතිරණයේදී සියයට 12.5 ඉක්මවූ ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ අපේක්ෂකයින් 33 දෙනාගේ ඇප මුදල් රාජසන්තක කෙරුණා.