Saturday, April 20, 2024

General line - 0115112241

ජනපති කළ කථාව ගැන නීතීඥ අලි සබ්රිගෙන් පැහැදිළි කිරීමක්




තමන්, තමන්ට ඡන්දය ලබාදුන් අයගේ පමණක් නොව තමන්ට ඡන්දය ලබා නොදුන් සියලු දෙනාගේ ද ජනාධිපති බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. තම නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ ජාතිය හෝ ආගම කුමක්වුවත්, තමන් සියලු ශ‍්‍රී ලාංකිකයින්ගේ ජනාධිපති බවයි.

සැමට ගෞරවයෙන් හා අභිමානයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත්, සාමකාමී දේශයක් බිහිකිරීම උදෙසා සියලුදෙනාගේ සහයෝගය කාරුණිකව අපේක්ෂා කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ට්විටර් සටහනෙන් ප‍්‍රකාශ කර තිබෙනවා. 

මේ අතර ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි සෑය අභියසදී ඉකුත් දා කළ කතාව ඇතැම් පිරිස් වැරදි ලෙස අර්ථ දැක්වීමට උත්සහ කරන බවයි ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසන්නේ. සුළු ජාතිකයින් හෝ සුළු ආගමිකයින් සුළුකොට දැක්වීමට ජනාධිපතිවරයා මෙම කතාවේදී හෝ තම කි‍්‍රයාවෙන් කිසිවිටෙකත් කටයුතු කර නැතැයි ද ජනාධිපති නීතීඥ අලි සබ්රි පෙන්වා දෙනවා. 

ගෝඨාභය රාජපක්ෂ මහතා සුළු ජාතිකයන්ට සහ සුළු ආගමිකයන්ට විරුද්ධ අයෙකු බව පෙන්වා දීමට ඇතැම් පිරිස් අවස්ථා ගණනාවකදී උත්සහ කළ බවද මෙහිදී සිහිපත් කෙරුණා. එහෙත්, තම පාලනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම වැරදි මතය බිඳලනු ඇති බවයි ජනාධිපති නීතීඥ අලි සබ්රි වැඩිදුරටත් පැවසුවේ.