Friday, April 26, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයෙන් පසු කොටස් වෙළදපොළෙහි ඇති වූ වර්ධන ගැන පැහැදිළි කිරීමක්




ජනාධිපතිවරණයෙන් පසු කොටස් වෙළද පොළෙහි ඇති වූ වර්ධන ඉදිරි සති කිහිපයේදීද අපේක්‍ෂා කරන බව ආර්ථික විද්වතුන් පවසනවා.

ඊට හේතු දක්වන කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පි‍්‍රයංග දුනුසිංහ කියා සිටියේ "යම්කිසි ආකාරයක කල්මරමින් සිටි ආයෝජකයෝ ඉතාමත් කෙටි කාලයත් තුළදී සක්‍රීය වීමක් තමයි මේ හරහා සිද්ධ වුණේ. ඔවුන් මෙතෙක් කල් ආයෝජනය නොකර සිටියේ පැවැති රජයේ තිබූ දුර්වල ආර්ථික කළමණාකාරීත්වය නිසයි." බවයි.

කෙටි කාලීන සහ දිගුකාලීන ලෙස කොටස් වෙළද පොලෙහි අයෝජකයන් දෙවර්ගයක් හදුනා ගත හැකි බවද ඔවුන් දෙපිරිසම ඇති වූ නව දේශපාලන තත්ත්වය නිසා දිරිමත් වී ඇතැයි පෙනී යන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඇති වූ මෙම සුබදායක තත්ත්වය දිගු කාලීනව පවත්වා ගැනීමට නම් ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු වන පරිදි නව පාලනය ඉදිරියේදී කි‍්‍රයා කළයුතු බවයි ආචාර්ය පි‍්‍රයංග දුනුසිංහ වැඩිදුරටත් කියාසිටියේ. 

මේ අතර ගතවූ දින කිහිපයේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී ඇතැයිද ආර්ථික විද්වතුන් පෙන්වා දෙනවා. ජනාධිපතිවරණයට පෙර ගනුදෙනු සිදුවූ අවසන් දිනය වූ ඉකුත් සිකුරාදා අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවිය යුතු වූයේ රුපියල් ගණන 182 යි ශත 11 ක්. පෙරේදා වනවිට එය රුපියල් 181 යි ශත 67 ක් දක්වාත්, ඊයේ දිනයේ ගනුදෙනු අවසන් වනවිට එය රුපියල් 181 යි ශත 29 ක් දක්වාත්, අඩුවී තිබුණා.