Thursday, April 25, 2024

General line - 0115112241

සිය දියණිය මරා දැමු ඝාතකයින් පුළුස්සා මරා දමන්න - ප්‍රියංකා රෙඩ්ඩි ගේ මව ඉල්ලයි 




ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදී පශු වෛද්‍යවරියක් වන ප්‍රියංකා රෙඩ්ඩි නැමති තරුණිය සමුහ දුෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනමකට ලක් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මිට දින කිහිපයකට පෙර සිය සේවා කටයුතු අවසන් කොට නිවෙස බලා යමින් සිටි මෙම තරුණ පශු වෛද්‍යවරිය පැහැරගෙන ගොස් සමුහ දුෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධිය හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ දැඩි විරෝධතා රැල්ලක් නිර්මාණයවී තිබෙනවා.

ඝාතනයට ලක්වූ ප්‍රියංකා රෙඩ්ඩි සිය යතුරුපැදියේ ටයරයක ගැටළුවක් ඇතිව තිබෙන බව සිය වැඩිමහල් සහෝදරියට දුරකථන ඇමතුමක් ලබාදී ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඇය අවසන් වරට ලබාදුන් දුරකථන ඇමතුම බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එම අවස්ථාවේදී තමන් ආසන්නයේ ලොරි රථ රියදුරන් කිහිපදෙනෙක් සිටින බවත් ඔවුන් තමන්ට උපකාර කිරීමට ඉදිරිපත්වූ බව ඇය සිය සහෝදරියට කියා තිබෙනවා. ඒ වන විට රාත්‍රී 9.45 ට පමණ ඇති බවයි ප්‍රියංකා ගේ වැඩිමහල් සහෝදරිය ප්‍රකාශ කර සිටින්නේ. නාදුනන පිරිසක් මධ්‍යයේ නොසිටින ලෙසත් වහාම යතුරුපැදිය අත්හැර ආරක්‍ෂිත ස්ථානයකට ගොස් කුලී රථයකින් නිවසට පැමිණෙන ලෙස තමන් සිය සහෝදරියට ප්‍රකාශ කළ බව ප්‍රියංකා රෙඩ්ඩි ගේ සහෝදරිය පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සටහන්ව තිබෙනවා.

නමුත් තමන් යලිත් වරක් සිය සහෝදරියගේ දුරකථනයට ඇමතුමක් ලබා ගත්තත් එය සම්බන්ධ නොවීම නිසා ලඟම ඇති පොලිස් ස්ථානයට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට ගියත් ඔවුන් එය භාර නොගත් බවත් වෙනත් පොලිස් ස්ථානයකට යන ලෙස දැනුම් දී තිබෙනවා. මේ හේතුවෙන් තමන්ට සිය සහෝදරිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට වෙනත් පොලිස් ස්ථානයකට යාමට සිදුවූ බවත් ඒ සඳහා ගතවූ පැය කිහිපය නිසා සිය සහෝදරියගේ ජීවිතය බේරා ගැනීමට තිබු අවස්ථාව මගහැරී ගිය බව ප්‍රියංකා ගේ සහෝදරිය ප්‍රකාශ කර සිටිනවා.

සමුහ දුෂණය කොට පුළුස්සා ඝාතනය කරන ලද ප්‍රියංකා රෙඩ්ඩි ගේ සිරුර ඇයගේ යතුරුපැදිය නතර කොට තිබු ස්ථානයේ සිට සැතපුම් 15ක් දුරින් පිහිටි ප්‍රදේශයක තිබීයදි මුලින්ම දැක ඇත්තේ කිරි ගොවියෙක් වන අතර ඔහු ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

CCTV කැමරා පරික්ෂණයන් ඔස්සේ ලද සාක්ෂි අනුව එම අපරාධය් සිදුකළ බවට සැකකරන ලොරි රථ රියදුරෙක් වන මොහොමඩ් පාෂා නම් අයෙක් සහ තවත් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන් අනතුරුවයි.

සිය දියණිය දුෂණය කොට පුළුස්සා ඝාතනය කළ අපරාධකරුවන් සියලු දෙනා පුළුස්සා මරා දැමිය යුතුයැයි ප්‍රියංකා රෙඩ්ඩි ගේ මව ප්‍රකාශ කර සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

වාර්ෂිකව ඉන්දියාවේ ස්ත්‍රී දුෂණයන් 40,000ක් පමණ සිදුවන බවට සංඛ්‍යා ලේඛණ පෙන්නුම් කළත් එම ප්‍රමාණය ඊට වඩා අධික බවයි සිවිල් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ.