Friday, April 19, 2024

General line - 0115112241

"එජාපයට මහා සංඝරත්නය සිහිවන විට ප්‍රමාද වැඩියි"




එක්සත් ජාතික පක්‍ෂයට මහා සංඝරත්නය සිහිවන විට ප‍්‍රමාද වැඩි බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. 

කෙසේවෙතත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පැවසුවේ මෙය එක්සත් ජාතික පක්‍ෂයේ තවත් දේශපාලන උපක‍්‍රමයක් දැයි සැක මතුවන බවයි. එක්සත් ජාතික පක්‍ෂයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන්ද සියළු පාර්ශව අවධානයෙන් පසුවිය යුතු බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

වඩා වැදගත් වන්නේ පක්‍ෂයේ මතවාදී වෙනසක් බවත් මහා සංඝරත්නයට දේශපාලන පක්‍ෂ පාට භේදයක් නොමැති බවත් මෙහිදී අවධාරණය කෙරුණා. ඒ, එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ ඊයේ (02) කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින්. 

එක්සත් ජාතික පක්‍ෂයේ යාන්ත්‍රණය ප්‍රතිසංවිධානය කිරීම සඳහා මහා සංඝරත්නයේ අනුශාසනා ලබාගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ ඊයේ (02) ප්‍රකාශ කළා. ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි. 

මේ අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සදහා අවශ්‍ය නම් තම පක්‍ෂය රජය සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ. 

තවද, මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමාට එල්ල වන චෝදනා හුදෙක් පෞද්ගලික මඩ ගැසීම් බව හිටපු අමාත්‍ය  පාඨලී චම්පික රණවක ප‍්‍රකාශ කර තිබෙනවා.