Friday, March 29, 2024

General line - 0115112241

ජනාධිපති ගෝඨාභය පාර්ලිමේන්තු එන්නේ කෙසේ දැයි කතාබහක්




ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු හැඳ සිටින ඇදුමෙන්ම පාර්ලිමේන්තුවට සහභාගි විය හැකි දැයි මේ වනවිට කතාබහක් මතුව තිබෙනවා. 

ඒ අනුව නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් විමසීමක් කළා. එහිදී ඔහු තහවුරු කළේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව කථානායකවරයා ජනාධිපතිවරයාගේ ඇඳුම පිළිගන්නේ නම් පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගිවීමේදී කිසිඳු ගැටළුවක් ඇති නොවන බවයි.

සාමාන්‍යයෙන් මන්තී‍්‍රවරයෙකු පාර්ලිමේන්තුවට සහභාගිවීමේදී ජාතික ඇඳුම හෝ විදේශීය සම්ප‍්‍රදායේ සම්පූර්ණ ඇඳුමෙන් සැරසී පැමිණීම දැකගත හැකියි. කෙසේවෙතත් එසේ නොවූ අවස්ථා කිහිපයක්ද පාර්ලිමේන්තු ඉතිහාසය පරික්‍ෂා කර බැලීමේදී දැකගත හැකි වනවා.

ඉන් එක් අවස්ථාවක් වන්නේ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නැගෙනහිර පළාත් මන්තී‍්‍රවරයෙකු වු එම්. මොහොදීන්, සාමාන්‍ය හිස් වැසුමට වඩා අඩියක් පමණ උස හිස් වැසුමක් පැළද පාර්ලිමේන්තු සැසියට සහභාගිවීමයි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ශී‍්‍රමනී ඇතුළත්මුදලි මන්තී‍්‍රවරියද සාමාන්‍යයෙන් මන්තී‍්‍රවරියන් අදින සාරියට පරිභාහිර වෙනත් ඇදුමක් ඇදීමට පාර්ලිමේන්තුවෙන් අවසර ඉල්ලා තිබුණු අතර ඊටද අනුමැතිය හිමිවුණා.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ අන්ජාන් උම්මා මන්තී‍්‍රවරිය ද හිස වැසෙන සේ හිජාබය පැළද පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වී තිබෙනවා.

එම සියළු අවස්ථාවලදී පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුව කථානායකවරයා අවසර දී තිබුණා.