Saturday, April 20, 2024

General line - 0115112241

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවට විදෙස් ගතවීම තහනම් 

අධිකරණ වාර්තාකරු




ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියාර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාවට අධිකරණයේ අවසරයකින් තොරව මේ මස 9 දා තෙක් විදේශ ගත වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝගයක් නිකුත් කළා.

මෙම නිළධාරිනිය පැහැරගෙන යාමට ලක්වූ බවට ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණත් වින්දිත තැනැත්තිය සම්බන්ධයෙන් කිසිදු අනාවරණය කිරීමක් සිදු කර නොමැති බවත් එබැවින් එම කාන්තාවගේ ප්‍රකාශයක් ලබා ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත දැනුම් දුන්නා.

ඇය යම් හෙයකින් විදේශ ගත වුවහොත් පරික්ෂණ කටයුතු වලට බාධා වී රට කෙරෙහි වැරැදි ආකල්පයක් ඇති විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා .

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් මීලඟ දිනට පෙර ලබා දෙන ලෙසට අධිකරණය ගානියාර් ෆ්‍රැන්සිස් නැමැත්තියට නියෝග කළ අතර දෙසැම්බර් මස 9 දා තෙක් ඇයගේ විදේශ ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද නියෝග කළා .

මෙම කාන්තාව සම්බන්ධයෙන් තානාපති කාර්‍යාලය කිසිදු අනාවරණය කිරීමක් සිදු කර නොමැති බවත් ඇය පදිංචි යැයි සැලකෙන නිවසේද ඇය දැනට නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
 
එම තානාපති කාර්‍යාලයේ සේවය කළ තැනැත්තිය සම්බන්ධයෙන් තානාපති කාර්යාලය දෙවන නිලධාරියකු මගින් ලද ලිඛිත පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා .
 
මෙම තැනැත්තියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව ඇති බැවින් යම් හෙයකින් ඇය විදේශගත වුවහොත්, පරික්ෂණ වලට බාධා සිදු විය හැකි බව පවසමින් ඇයගේ විදේශ ගමන් තාවකාලිකව අත් හිටුවන ලෙසට ඉල්ලමින් එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.