Saturday, April 20, 2024

General line - 0115112241

ප‍්‍රදේශ රැසකට තවදුරටත් වැසි - බදුල්ල - පස්සර මාර්ගයත් තාවකාලිකව වසා දැමේ




උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය හෙට දිනය දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150කට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක පැවසුවේ.
 

දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශ ආශි‍්‍රතව ඇති විය හැකි කාලගුණ තත්ත්වයන් පිළිබදවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක කරුණු දැක්වුවා.
 

මේ අතර පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ති‍්‍රක්කවලට නිකුත් කර තිබූ නායයෑම් පිළිබද අනතුරු ඇගවීම් නිවේදනය අද පස්වරු දෙකේ සිට හෙට පස්වරු දෙක දක්වා දීර්ඝ කර තිබෙනවා.

අදාළ ප‍්‍රදේශවලට ඉකුත් පැය 24 තුළ මිලිමීටර් 75 ඉක්මවා වැසි ඇදහැලී ඇති බැවින් නායයෑම් තත්ත්වයන් පිළිබද විමසිලිමත් වන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප‍්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිිටියේ. 

මහනුවර දිස්ත‍්‍රක්කයේ උඩුදුම්බර ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශය සහ අවට ප‍්‍රදේශවලට මිලිමීටර් සියය ඉක්මවා වැසි ලැබී ඇති බැවින් එම ප‍්‍රදේශවලට අවදානම් මට්ටමේ පූර්ව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වූ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි.
 

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල - පස්සර මාර්ගයද තාවකාලිකව වසා දමා ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි වැඩිදුරටත් සදහන් කළේ.