Tuesday, April 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව අදත් සාග් ඉතිහාසය වෙනස් කරයි




13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට අද (08) ඉතිහාසයේ පළමු වරට මල්ලව පොර ඉසව්වෙන් රන් පදක්කම් 02 ක් හිමි වුණා. මෙම පදක්කම් 02 ම හිමි වූයේ කාන්තා මල්ලව පොර ඉසව්වෙන් වීම විශේෂත්වයක්. කිලෝග්‍රෑම් 65 බර පන්තියෙන් දිල්හානි වීරබාහු රන් පදක්කම දිනා ගත් අතර අයෝමි සෙනෙවිරත්න රන් පදක්කම දිනා ගත්තේ කිලෝග්‍රෑම් 72 බර පන්තියෙන්. කිලෝග්‍රෑම් 62 බර පන්තියෙන් ප්‍රියංගා කුමාරි රිදී පදක්කම දිනා ගනිද්දී උදාර ප්‍රනාන්දු කිලෝග්‍රෑම් 61 බර පන්තියෙන් මල්ලව පොර ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන්නා.

මේ අතර, 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම පිළිබඳ තැබූ බලාපොරොත්තු අද බිඳ වැටුණ ද බීච් වොලිබෝල් ඉසව්වේ ජය කෙහෙළි නැංවීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ, එම ඉසව්වේ රන් සහ රිදී පදක්කම ද දිනා ගනිමින්. අවසන් මහා තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම් 02 ක් සුදුසුකම් ලබා තිබීම කැපී පෙනෙන සිද්ධියක් වුණා. එහිදී ශ්‍රී ලංකා බීච් වොලිබෝල් 01 කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා බීච් වොලිබෝල් 02 කණ්ඩායම රන් පදක්කම ලබා ගත්තා.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අද පැවති කාන්තා ක්‍රිකට් ඉසව්වේදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන් රන් පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 02 ක තියුණු ජයක් වාර්තා කරමින්. 

මේ අතර 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම අද දිවයිනට පැමිණියා. මෙවර සාග් ක්‍රීඩා උළෙලේ ටයිකොන්ඩෝ තරඟාවලියට පිරිමි හා කාන්තා කේවල, යුගල හා කණ්ඩායම් යන අංශ වලින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 29 ක්. ඔවුන් රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 07 ක් සහ ලෝකඩ පදක්කම් 16 ක් සමග සමස්ත පදක්කම් 27 ක් දිනා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් ක්‍රීඩා ඉසව්වක් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනෙකු සහභාගි වී පදක්කම් 27 ක් දිනාගත් ප්‍රථම අවස්ථාව ද මෙයයි.

ශ්‍රී ලංකාව මේ වනවිට රන් පදක්කම් 31 ක් සමග පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ පසු වනවා.