Saturday, April 20, 2024

General line - 0115112241

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගෙන් CIDයට ප්‍රකාශයක් 




පැහැර ගැනීමට ලක්වූ බව කියන මෙරට පිහිටි ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික සේවිකාව සිය නීතිඥවරුන් දෙදෙනෙක් සමග අද (08) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

පැය 5 කට ආසන්න කාලයක් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳී සිට ඇති අතර ඇයව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබු බවයි වාර්තා වන්නේ.

පසුගිය නොවැම්බර් මස 25 වෙනිදා සේවය නිමකොට සිය නිවස බලා යමින් සිටියදී කිසියම් පිරිසක් විසින් තමන් පැහැර ගෙන ගොස් තර්ජණය කළ බවට ඇය තමන් සේවය කරනු ලබන මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දැනුම්දී තිබුණා.

පසුව මේ සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය විසින් රජයේ බලධාරීන්ට දැනුම්දී තිබු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් සිදුකර තිබුණා.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් ලබාදුන් තොරතුරු ඇසුරෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකළ විමර්ශනයේදී පැහැර ගැනීමට ලක්වූ බවට කියූ කාන්තාව ගේ ගමන් බිමන් සහ ඇය ප්‍රකාශ කර තිබු කරුණු අතර කාල සීමාවන් සහිතව වෙනස්කම් ඇති බවට කරුණු හෙළිවූවා. ඒ අනුව රජයේ බලධාරීන් පසුගියදා මෙරට ස්විට්සර්ලන්ත තානාපතිවරයා හමුවී එම විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීමට පියවර ගනු ලැබුවා.

ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ අතර එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරනු ලබන මෙම කාන්තාවට දෙසැම්බර් මස 09 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

එමෙන්ම මෙම කාන්තාවගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුනේ.

ඒ අනුව අද දිනයේදී පැහැර ගැනීමට ලක්වූ බව කියන කාන්තාව සිය නීතිඥවරයා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදී පිටව ගොස් තිබෙනවා.