Thursday, April 25, 2024

General line - 0115112241

අර්ධ සුඛෝපභෝගී බස් සේවාව තහනම් කිරීමට පියවර ගන්නවා : අමාත්‍ය මහින්ද අමරවීර 




මගී ජනතාවට කිසිදු පහසුකමක් ලබා නොදෙමින් සහ මගී ජනතාවගේ මුදල් ගසාකමින් වසර ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.

මගී ප්‍රවාහන කළමනාකරණ සේවා විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ ජාතික ගමනාගමන කොමිසන් සභාවේ නිලධාරින් සමග මෙම කාරණය සම්බන්ධයෙන් සාකච්ජාවක් පැවැත්වූ අතර අර්ධ සුඛෝපභෝගී බස්රථ මගින් මහජනතාවට ඇති එකම පහසුව බස්රථ ජනෙල්වල රෙදි කැබලි එල්ලා තැබීම පමණක් බවද මෙම සාකච්ජාවේදී අවධාරණය කර තිබේ.

අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව සම්බන්ධව ජාතික ගමනාගමන කොමිසම විසින් බස් මගීන් 10000 ක් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකදී එම සියළුම මගීන් 100%ක්ම ප්‍රකාශ කර ඇත්තේ අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කළ යුතු බවත් එම සේවාව මගින් කිසිදු පහසුකමක් මහජනතාවට නොලැබෙන අතරම සාමන්‍ය බස්රථවලට වඩා වැඩියෙන් මුදල් ගෙවීමට තමන්ට සිදුවන බවයි.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අර්ධ සුඛෝපභෝගී  (SEMY LUXARY) බස්රථ සේවාව අහෝසි කිරීමට තමන් කටයුතු කරන බව කී අමාත්‍ය මහින්ද අමරවීර බස්රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කරමින් මහජනතාවට හිංසාවන පරිදි ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටයුතු කිරීම පාලනය සඳහාද වැඩපිළිවෙළක් සකස් කිරීමට ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දෙන ලදී. ඒ අනුව සුභාවිත ගීත අඩංගු සී.ඩී. තැටි සෑම පුද්ගලික සහ ලංගම බස්රථයකටම ඉදිරි කාලයේ ලබාදීමටද උපදෙස් දී ඇත.

කෙසේ වුවත් අර්ධ සුඛෝපභෝගී නැමැති මහජනතාව රවටා මුදල් ගසාකන බස්රථ සේවාව කෙටි කාලයක් තුළ අනිවාර්යෙන්ම අහෝසි කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.