Thursday, March 28, 2024

General line - 0115112241

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසල සිටින තැරැව්කරුවන් අත්අඩංගුවට ගන්න : ඇමතිගෙන් උපදෙස්




කොළඹ නාරාහේන්පිට ඇතුළු දිවයිනේ සියලුම මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල අසල ගැවසෙන තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර බලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

අද (09) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ සංචාරයකට එක්වෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ සහ දිස්ත්‍රික් ශාඛා කාර්යාල අසල රැඳී සිටින මෙම තැරැව්කරුවන් විසින් මහජනතාව හිංසාවට සහ පිඩාවට පත්කරමින් සිටින බවට තමන් වෙත පැමිණිලි ලැබී ඇති බවත් ඒවා සත්‍යයද යන්න ගැන සොයා බැලීමට අද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වූ බව කියූ ඇමතිවරයා එසේ ලද පැමිණිලි සත්‍ය බවට පෙනෙන්නට තිබෙන බව කියා සිටියා.

මෙම තැරැව්කරුවන් හොර මුද්‍රා යොදා ගනිමින් ව්‍යාජ සහතික පත් නිකුත් කරමින් මහජනතාවගෙන් විශාල වශයෙන් මුදල් ගසා කමින් ඔවුන්ව දැඩි අපහසුතාවයට ලක් කරන බැවින් වහාම එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා නිතිය ක්‍රියාත්මක කරන අංශ වෙත පැමිණිලි කරන ලෙසට ඇමතිවරයා මෙහිදී මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් බලාපොරොත්තුවෙන් පැමිණෙන ජනතාව මෙම වංචනික තැරැව්කරුවන්ට හසු නොවන්නැයි තමන් ඉල්ලා සිටින බවට පැවසූ ඇමතිවරයා, මහජනතාවට සිය සේවාවන් සෘජුව අදාළ නිලධාරීන් සමග සම්බන්ධ වී කරගන්නා ලෙසට ඉල්ලීමක් කර සිටියා.