Tuesday, April 23, 2024

General line - 0115112241

මැතිව් අබේසිංහ ගෙන් රන් පදක්කම් 07ක් 




13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරඟාවලියේ පිරිමි සමනළ ආර පිහිණුම් ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීම මැතිව් අබේසිංහ අද (09) සමත්වුණා. ඒ මෙම තරගාවලිය තමන් හිමිකරගත් 7වැනි රන් පදක්කමට හිමිකම් කියමින්.

මීටර් 100 සහ මීටර් 200 නිදහස් ආර පිහිණුම් ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ අද සමත්වුණා. 

2016 වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළලේදී ද මැතිව් අබේසිංහ රන් පදක්කම් 07 ක් දිනා ගත් අතර ඒ අනුව ඔහු මෙවරත් එවැනි දස්කම් දැක්වීම කැපී පෙනුණා. මෙරට පිහිණුම් ක්‍රීඩකයෙකු විසින් දිනා ගත් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව මෙය වනවා. 

මිට පෙර ජුලියන් බෝලින් පිහිණුම් ඉසව්වෙන් සාග් ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 06ක් දිනා ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත් මෙවර සාග් ක්‍රිඩා උළලේදී ක්‍රිකට් පිරිමි ඉසව්වෙන් රීදි පදක්කමකින් සෑහීමට පත් වීමට ශ්‍රී ලංකාවට අද සිදු වූණා. මෙම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වුයේ වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමයි. අද පැවති අවසන් තරගයේදී ඔවුන් බංගලාදේශ වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම හමුවේ කඩුලු 07කින් පරාජය වුණා. 

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිඩකයන් නියමිත පන්දුවාර විස්සෙදී සියළු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 122ක් පමණයි. බංගලාදේශ ක්‍රිඩකයන් පන්දුවාර 18යි එක් පන්දුවකදී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 125ක් ලබා ගත්තා. 

ක්‍රිකට් කාන්තා ඉසව්වෙන්ද ශ්‍රී ලංකාවට හිමි වුයේ රීදි පදක්කමයි. එහිදීද රන් පදක්කම දිනා ගැනීමට බංගලාදේශය සමත් වුණා.
මේ අතර සාග් ඉතිහාසයේ පළමුවරට කබඩි පිරිමි ඉසව්වෙන් රීදි පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. අවසන් තරගයේදී ඔවුන් පරාජය වුයේ ප්‍රබළ ඉන්දීයාව හමුවේයි. අවසන් ප්‍රතිඵලය ලකුණූ 51 ට 18 සටහන් වුණා. 

මෙවර සාග් ක්‍රිඩා උළලේදී මේ දක්වා දිනා ගෙන ඇති මුළු පදක්කම් සංඛ්‍යාව 213ක්. ශ්‍රී ලංකාව සාග් ක්‍රිඩා උළලෙකදී පදක්කම් 200 ඉක්මවා ලබා ගත් පළමු අවස්ථාවද මෙය වනවා. රන් පදක්කම් 36ක් රීදි පදක්කම් 74ක් සහ ලෝකඩ පදක්කම් 103ක් ඊට අයත්.