Wednesday, April 24, 2024

General line - 0115112241

දිගු කාලින සිරකරුවන් පුනුරුත්ථාපනය කර නිදහස් කරන්න ක්‍රමවේදයක් සකස් කරනවා : ඇමති නිමල් සිරිපාල




දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිටින යහපත් කල් ක්‍රියාවෙන් පසුවන රැඳවියන් පුනුරුත්ථාපනය කිරීමෙන් අනතුරුව සමාජ ගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා. 

දීර්ඝ කාලයක් යහපත් කල්ක්‍රියාවෙන් පසුවන රැඳවියන් යලි සමාජ ගත කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඇතුළු අධිකරණ කේෂ්ත්‍රයේ සමග සාකච්ජා කොට ඒ සඳහා සුදුසු සැලැස්මක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය වෙත යොමු කිරිමට කටයුතු කරන බවයි මෙහිදී ඇමතිවරයා සඳහන් කර සිටියේ. කෙසේ වුවත් පාතාල හා සංවිධානාත්මක අපරාධ, ස්ත්‍රී දුෂණ, මිනීමැරීම් වැනි බරපතල ගණයේ අපරාධකරුවන් මේ වැඩපිළිවලට යටත් නොවන බවයි ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ.

මේ වන විට ලංකාවේ පවතින බන්ධනාගාර තුල රැඳවිය හැකි සීමාවට වඩා තුන් ගුණයකින් යුත් සිරකරුවන් පිරිසක් රඳවා ඇති බව ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා. පසුගිය වර්ෂයේදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නඩු ප්‍රමාණය සියයට 150 කින් වැඩිවී ඇති බව ප්‍රකාශ කළ ඇමතිවරයා ඒ නඩු ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු වාර්තා කලට වෙලාවට නොලැබීම බව කියා සිටියා.

මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පසුගිය සතියේ සාකච්ජා කළ බවත් රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයකින් තොරව නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් එහිදී අවශ්‍ය ක්‍රියා මාර්ග ගත් බව නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළා.

සිරකරුවන් සමාජයේ කොන්කරපු පිරිසක් ලෙස නොව ඔවුන් නැවත සමාජගත කිරීම සඳහා අවශ්‍ය පසුබි බන්ධනාගාරතුල අනිවාර්යයෙන්ම ඉටුවිය යුතු බව පැවසූ අමාත්‍යවරයා බන්ධනාගාර තුල සිට අපරාධ කිරීමට පෙළඹෙන සිරකරුවන් පිළිබඳව, රැඳවියන් පිළිබඳව විශේෂ අවධානයකින් කටයුතු කිරීම සඳහා  CCTV කැමරා පද්ධතියක් සෑම බන්ධනාගාරයක් තුලම සවිකිරීමට පියවර ගන්නා බවට ප්‍රකාශ කළා.

බන්ධනාගාර තුල සනිපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගෙන ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හිගව ඇති ජේලර්වරුන් ඇතුළු සේවකයින් බඳවා ගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව ප්‍රකාශ කර සිටියා.