Thursday, March 28, 2024

General line - 0115112241

සිද්ධිය අසත්‍යයි - මීළඟ පියවර ගැන ආණ්ඩු පාර්ශ්වයෙන් පැහැදිළි කරයි




ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් වන ගානියා බැරිස්ටර් ෆ‍්‍රැන්සිස් පැහැර ගැනීමට ලක්වූ බව කියන සිද්ධිය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඊයේ (10) රාති‍්‍රයේ ආණ්ඩුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී "මේක සම්පූර්ණ බොරුවක් කියන එක තහවුරු වෙලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මෙක පිටුපස සිටින කුමන්ත්‍රණකරුවන් සොයා ගන්න එක විතරයි." යනුවෙන්ද සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ "රාජිතයි පාඨලීයි එකතු වුණොත් ඔයිට වඩා වැඩ කරයි..අපි ඒ දෙන්නා ගැනම බලාගෙන ඉන්නේ" යනුවෙනි.

මේ අතර විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප‍්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්විස් තානාපති කාර්යාලය සමග සුහදව කටයුතු කරමින් සිටින බවයි.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් වන ගානියා බැරිස්ටර් ෆ‍්‍රැන්සිස් ඊයේ (10) දිනයේ තුන්වන දිනයටත් ප‍්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඇයට පනවා තිබූ විදෙස් ගමන් තහනම ද හෙට (12) දක්වා දීර්ඝ කිරීමටයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත්දා නියෝග කළේ. 

මේ අතර ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් වන ගානියා බැරිස්ටර් ෆ‍්‍රැන්සිස් සම්බන්ධයෙන් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ‍්‍රමික මේජර් අජිත් ප‍්‍රසන්න අදහස් ප‍්‍රකාශ කළා.

එහිදී "ගානියා බැරිස්ටර් ෆ‍්‍රැන්සිස් හෙවත් ශ්‍රියාලතා පෙරේරා.. මෙම කාන්තාව යම්කිසි ක්‍රිස්ත්‍රියානි නිකායකට බැඳීමෙන් අනතුරුව ඇයට ලැබිච්ච නම." යනුවෙන් සඳහන් කළා.