Friday, April 19, 2024

General line - 0115112241

රටට එරෙහි චෝදනා ජාත්‍යන්තර අධිකරණයේදී මියන්මාර නායිකාව ප‍්‍රතික්‍ෂේප කරයි




රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ සරණගාත ගැටළු සම්බන්ධයෙන් සිය රට වෙනුවෙන් කරුණු දැක්වීම සදහා මියන්මාර නායිකා අවුන්සාන් සුකී අද  එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය හමුවේ පෙනී සිටිමින් සාක්‍ෂි ලබාදුන්නා.

එහිදී ඇය ප‍්‍රකාශ කළේ සිය රටට එරෙහිව ගොණුකර ඇති සියළු වාර්තා සත්‍යයෙන් තොර හා පදනම් විරහිත බවයි.

මියන්මාරයේ රෝහින්ග්‍යා ගැටළුව මීට වසර ගණනාවක සිට පැවත එන ගැටළුවක් බවයි මියන්මාර නායිකාව එහිදී පෙන්වා දුන්නේ. රෝහින්ග්‍යා මුස්ලිම්වරු වැඩි වශයෙන් ජීවත් වන රකිනෙ ප‍්‍රාන්තයේ අන්තවාදී කටයුතු බහුලව සිදුවන බැවින් ඒවා මැඩපැවැත්වීම සදහා හමුදාව යෙදවූ බවද ඇය එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදෙමින් කියාසිටියා.

බෞද්ධාගමික රාජ්‍යයක් වන මියන්මාරයේ ඇති වූ ගැටුම් හේතුවෙන් 2017 වසරේදී සීරෝහින්ග්‍යා මුස්ලිම්වරුන් දහස් ගණක් මියගිය අතර ලක්‍ෂ 7 කට ආසන්න පිරිසක් ජීවිත ආරක්‍ෂාව පතා බංග්ලාදේශයට පලා ගිය බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් මියන්මාර නායිකා අවුන්සාන් සුකී පැවසුවේ ගැටුම් ඇතිවීමට මූලික හේතුවූයේ බෙදුම්වාදීන් විසින් රකිනෙ ප‍්‍රාන්තයේ පාලනය තමන්ට අවශ්‍ය බව පවසමින් කළහකාරී ලෙස හැසිරීම බවයි. මියන්මාර හමුදාව යම් ආකාරයකින් යුද අපරාධ සිදුකර ඇත්නම් ඔවුන්ව සිය රටේ නීතිය හමුවට ගෙන එන බවද අවුන්සාන් සුකී එහිදී කියාසිටියා.

එමෙන්ම දැනට විදෙස් රටවල සරණාගතයින් ලෙස රැදී සිටින රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට නැවත සිය රටට පැමිණ වාසය කළ හැකි බවද මියන්මාර නායිකාව පවසා තිබෙනවා. එමෙන්ම සිය රට තුළ අනවශ්‍ය සහ මතභේදාත්මක තත්ත්වයන් ඇති විය හැකි ආකාරයේ කිසිවක් නොකරන ලෙසයි මියන්මාර නායිකාව එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලා සිටියේ. 

මේ අතර රට වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවේ පෙනී සිටි සිය නායිකාවට සහය දක්වමින් මියන්මාර ජනතාව රටපුරා ජනරැළිද සංවිධාන කර තිබූ බව විදෙස් වාර්තාවල සදහන්.