Friday, March 29, 2024

General line - 0115112241

ඉකුත් ආණ්ඩු සමයේ නිර්දේශයක් පොලීසිය හදිසියේ කි‍්‍රයාත්මක කිරීමට යාමෙන් ගැටලුවක්




උතුර සහ නැගෙනහිර පළාත්වල පිහිටි පොලිස් ස්ථානවල නාමපුවරුවල දෙමළ යෙදුම් වෙනස් කර නාමපුවරු ප‍්‍රතිනිර්මාණය කරන ලෙස පොලිස් මූලස්ථානය විසින් අදාළ පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත වීරසූරිය විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ ඉකුත් 06 වැනිදායි. එහෙත්, ඊට පාදක වී ඇත්තේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව ඉකුත් ආණ්ඩුව සමයේ කළ නිර්දේශයක් බව ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

අදාළ නිර්දේශය රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් ඉකුත් සැප්තැම්බර් 06 වැනිදා නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මගින් ඉදිරිපත් කර තිබුණු බවයි නෙත් නිවුස් කළ සොයාබැලීමකදී හෙළිවුණේ. එහි පිටපතක් පොලිස්පතිවරයා වෙත ද යොමු කර තිබුණා. 

උතුර සහ නැගෙනහිර පළාත් ද්‍රවිඩ මූලික පළාත් ලෙස නම් කර ඇති නිසා එහි නාමපුවරු සියල්ලම පළමුව ද්‍රවිඩ භාෂාවෙන් සඳහන් විය යුතු බවට පැමිණිල්ලක් ලැබී තිබෙන බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ. කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නාමපුවරුව කාචල්නිලියම් ලෙස වෙනස්විය යුතු බව ද එහි දැක්වෙනවා. මීට අදාළ නිරීක්ෂණ සති 02 ක් ඇතුළත රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වෙත දැනුම් දෙන ලෙස ලිපියේ සඳහන්. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් ද කරුණු  විමසීමක් කළා.  එහිදී හෙළිවුණේ පොලිස් මූලස්ථනය මෙම නිර්දේශ කි‍්‍රයාත්මක කරන ලෙස අදාළ පොලිස් ස්ථාන වෙත දැනුම් දි ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමකින් ද තොරව බවයි.