Friday, March 29, 2024

General line - 0115112241

ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය නිවැරදි කිරීමට කටයුතු කරන බව දැනුම් දෙයි




ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය නිවැරදි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

ආණ්ඩු වෙනසත් සමග යාවත්කාලීන නොවී ව්‍යවස්ථාදායක සභාව අද (12) රැස්වීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි අමාත්‍යවරයා ඒ බව පැවසුවේ. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ද විමසීමක් කළා. මීට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂනායකවරයා කැඳවා නොමැති පසුබිමක් තුළ මෙම සභාවේ ගන්න තීන්දු සාධාරණ තීන්දු නොවන ලෙස තමන් සළකන බවයි. 

මේ අතර ව්‍යවස්ථාදායක සභාවේ අද පැවැත්වෙන රැස්වීමට ජනාධිපතිවරයාගේ නියෝජිතවරයා ලෙස තමන්ට කැඳවීමක් ලැබී ඇතැයි ද, ඒ අනුව රැස්වීමට තමන් සහභාගී වන බව ද රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවා.

ජනාධිපතිවරයා වෙනස්වී ඇති නිසා ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්නොවන්නේදැයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු පැවසුවේ එවැනි අවශ්‍යතාවක් නොමැති බවයි. 

අග‍්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වය දරණ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තලතා අතුකෝරළගෙන් ද නෙත් නිවුස් මීට පෙර විමසීමක් කළා. ඇය පැවසුවේ ඉල්ලා අස්වන්නැයි තමන්ට කිසිවෙකු හෝ දැනුම් දී නොමැති බවයි. අද පැවැත්වෙන රැස්වීමට කැඳවීමක් ලැබී ඇතැයි ද ඒ අනුව ඊට සහභාගී වන බව ද මන්තී‍්‍රවරිය වැඩිදුරටත් කියා සිටියා.