Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙන් දැඩි ජනතා විරෝධයක් ඇරඹේ




පාර්ලිමේන්තුවේදී ඊයේ (11) සම්මත කෙරුණු පුරවැසිභාවය පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පත පිළිබඳ කිසිදු පුරවැසියෙකු ප‍්‍රකෝපයට පත්විය යුතු නැතැයි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමිනුයි අග‍්‍රාමාත්‍යවරයා මේ බව පවසන්නේ. 

අදාළ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිවීමත් සමග ඇසෑම් ප‍්‍රාන්තය තුළ ප‍්‍රබල මහජන විරෝධයක් පැතිර යමින් තිබෙනවා.

මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ නීතිවිරෝධීව ඉන්දියාවට සංක‍්‍රමණය වී සිටින මුස්ලිම් නොවන ඇෆ්ගනිස්තාන, පාකිස්තාන සහ බංග්ලාදේශ වැසියන්ට ඉන්දීය පුරවැසිභාවට ලබාදීම සඳහායි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා ද කරුණු පැහැදිලි කිරීමක් කර තිබෙනවා. ඒ, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවලින් පැමිණි මුස්ලිම් නොවන නීතිවිරෝධී සංක‍්‍රමණියන්ට පමණක් ඉන්දියාවේ පුරවැසිභාවය ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ සිටින මුස්ලිම් වැසියන් කිසිසේත් බිය විය යුතු නොමැති බව අවධාරණය කරමින්.

ඔවුන්ද තවදුරටත් ඉන්දියාවේම ප‍්‍රජාව බවයි අමාත්‍යවරයා පැවසුවේ. මේ අතර පැතිරයන මහජන විරෝධතා සමනය කිරීම සඳහා ඇසෑම් ප‍්‍රාන්තයේ ආරක්ෂාව දැඩි කර තිබෙනවා. එහි ඇතැම් ප‍්‍රදේශවලට ඇඳිරි නීතිය ද පනවා තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.